1922 දෙසැම්බර් මාසයේ 28වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පදිංචිව සිටි Jack Lieber සහ Celia Lieber යුවලට දාව උපන් Stanley Martin Lieber දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දරුවා වූවා. රුමේනියාවේ සිට අමෙරිකාවට සංක්‍රමණය වූ නිසා Jack Lieberට ලොකු රැකියාවක් හමුවුණේ නැහැ. මේ නිසා Jackට වෘත්තීය ඇඳුම් මසන්නෙක් ලෙස වැඩ කරන්නට සිදුවුණා. Celia සිය දරු දෙදෙනාව රැකබලා ගනිමින් කාලය ගත කළා. Lieber පවුල එකිනෙකාත් සමඟ බොහොම සුහදශීලීව ගතකළ පවුලක්. මේ නිසාම අසල්වාසීන්ගේ සහ ප්‍රජාවගේ ප්‍රසාදය ඔවුන්ට හිමිවුණා. Jack රැකියාවේ නිරතවන අතරතුර Celia සිය දරුවන් දෙදෙනාගේ අනාගතයට අවශ්‍ය අඩිතාලම සකසන්නට වෙහෙසුණා. කුඩා කාලයේ පටන්ම ඇය සිය දරු දෙදෙනාට උසස් අධ්‍යාපනයක් ලබාදෙන්නට තීරණය කළා. ඒ නිසාම කුඩා Stanleyට සහ Larryට උපන්දින වලටත් බොහෝවිට ලැබුණේ පොත්පත්. මේ නිසාම කුඩා කල පටන්ම Stanගේ අරමුණ වූයේ දක්ශ ලේඛකයෙකු වීමටයි. ඒ අනුව Bronx හි පිහිටි DeWitt Clinton උසස් පාසලට ඇතුළත් වන Stan හොදීන් සිය අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා. ලේඛන සාහිත්‍යය සහ අමෙරිකානු ඉතිහාසය ගැන කුඩා කාලයේ පටන්ම Stanගේ සිතේ ඇල්මක් හටගන්නේ අනාගතයේ ‘The Great American Novel’ ලෙස ග්රන්ථයක් රචනා කිරීමට සිහින දකිමිනුයි. උසස් පාසලේ අධ්‍යාපනය හදාරන කාල සීමාවේදී තරුණ Stan අතිරේක රැකියාවන් කිහිපයකම නිරත වනවා. පුවත්පත් වලට වාර්තා සපයමින්, Rockefeller Center එකේ බෙහෙත් අලෙවිසැල් වලට ආහාර ගෙන යමින් වගේම Rivoli සිනමාහල අසල ඇඳුම් නිශ්පාදන කම්හලක කාර්යාලීය සේවකයකු වශයෙන්ද කටයුතු කරමින් ඔහු එදිනෙදා අවශ්‍ය මුදල් සොයා ගන්නවා. අධ්‍යාපනයට දැක්වූ දක්ෂතාව හේතුවෙන්ම වයස අවුරුදු 16½ක් වත්ම Stan උසස් පාසලෙන් ඉහළින්ම සමත් වී WPA Federal Theater Project එකට සම්බන්ධ වනවා.
තරුණ Stanගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ 1939 වසරයි. තම මාමා කෙනෙක් වූ Robbie Solomonගේ උදව්වෙන් 1939දී Timely Comics ආයතනයට බැඳෙන Stan තමන්ගේ වෘතීමය ජීවිතය එතනින් අරඹනවා. පළමුව Timely Comics ආයතනයේ කොමික් චිත්‍ර ශිල්පීන්ට අවශ්‍ය පෑන්, පැන්සල්, තීන්ත, කඩදාසි ගෙනවිත් දෙමින් සහ ඔවුන්ගේ ආහාර ළඟට ගෙනවිත්දෙමින් කුඩා සේවකයකු ලෙස රාජකාරි කළත් තමන්ගේ උත්සාහය නිසාම Stan පසුව Timely Comics මගින් නිකුත් කරනු ලබන Comic පොත්වලට සෘජු දායකත්වයක් දක්වන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව 1941දී Stanley Martin Lieber සිය පළමු කොමික් පොත් රචනාව සිදු කරනු ලබනවා. ඒ Captain America Foils the Traitor's Revenge පොතයි. Mystic Comics #6හිදීඑළිදැක්වෙන Destroyer චරිතය Stanගේ පළමු superhero co-creation එක ලෙස නම් කරන්නට පුළුවන්. මීට අමතරව U.S.A. Comics #1 හිදී හඳුන්වාදුන් Jack Frost චරිතයත්, Captain America Comics #6හි Father Time චරිතත් Stanගේ පළමු superhero co-creations ලෙසින් නම් කළ හැකියි. Stanley Martin Lieber ලෙසින් පැවති සිය නම Stan Lee ලෙසින් කෙටි කර භාවිතා කරන්නටත් මේ කාලයේදී ඔහු පෙළඹෙනවා. පසුකාලීනව Stanley Martin Lieber නාමය වෙනුවට නීතිමය ලෙසම Stan Lee යන්න සිය නම ලෙස ඔහු යොදාගන්නවා.
1941 වසර අග භාගයේදී Joe Simon සහ Jack Kirby දෙදෙනා Timely Comics ආයතනයෙන් ඉවත්වීමත් සමඟම ආයතනයේ ප්‍රධානී Martin Goodman දැඩි ගැටළුවකට මුහුණ දෙනවා. Stanගේ වැඩකටයුතු ගැන ඒ වන විටත් සෑහීමකට පත්ව සිටින Goodman 19 හැවිරිදි Stanව ආයතනයේ සහය සංස්කාරකවරයෙක් හැටියටත් Comic අංශයේ ප්‍රධානියා බවටත් පත් කරනු ලබනවා. ඒ අනුව ඒ වකවානුවේදී එවන් තනතුරක් ලද තරුණම පුද්ගලයා බවට Stan Lee පත් වනවා. මෙලෙස ඇරඹි ඒ තනතුර 1972 දක්වාම දරන්නට Stan සමත්වනවා.
1939 සිට 1945 දක්වා කාලය කියන්නේ මුළු ලෝකයම සලලිත කළ කාල වකවානුවක්. මානව ඉතිහාසය තුල සිදු වූ විශාලතම සංග්‍රාමය කුමක්දැයි ඔබෙන් කෙනෙකු ඇසුවොත් දෙවන ලෝක යුද්ධය ඔබගේ මතකයට පැමිණෙන්නේ නිතැතින්මයි. මිලියන 50ත් 80ත් අතර මහා ජන සංහාරයක් වනසා දැමුනු ඒ යුද්ධය මුළු මහත් ලෝකයාගේම ජීවිත අවිනිශ්චිත කරන්නක් වූවා. Timely Comics ආයතනයේ සංස්කාරකවරයෙකු ලෙස ක්‍රියා කරමින් සිටි Stan Lee සිය රට වෙනුවෙන් මේ යුද්ධයට සේවය ලබා දෙන්නට තීරණය කරන්නේ මේ කාල සීමාවේදීයි. ඒ අනුව වර්ෂ 1942දී අමෙරිකානු යුධ හමුදාවට බැඳෙන Stan Lee එහි තොරතුරු සහ පණිවිඩ හුවමාරු ඒකකයේ සේවය කරනවා. යුධ පණිවුඩ ගෙනයමින් සහ පණිවුඩ උපාංග ආරක්ෂා කරගමින් ඒවා අලුත්වැඩියා කරමින් ඔහු සිය සේවය සිදුකරනු ලබනවා. ඒ පමණක් නොව යුධ සොල්දාදුවන්ට යුද්ධය ගැන උනන්දුව ඇතිවන ලෙස සටන්පාඨ, කෙටි පුහුණු සැසි පවා ඔහු ඉදිරිපත්කොට ඇති බව සඳහන්. සොල්දාදුවන් අතර ඉක්මනින්ම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වන Stanව යුධ සොල්දාදුවන් 'playwright' යන අන්වර්ථ නාමයෙන්ද අමතා ඇති බව සඳහන්. 1945දී ජපානයට පරමාණු බෝම්බ හෙළීමත් සමඟම දෙවන ලෝක යුද්ධය අවසන් වනවා. ඉන් පසු හමුදා සේවයෙන් ඉවත්වන Stan කෙටි විවේකයකින් අනතුරුව යළිත් සිය ආයතනයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.
1947 වසරේදී Stan Lee තමන්ගේ ජීවන ගමනේ සහකාරිය බවට Joan Boocock Leeව පත්කරගනු ලබනවා. දෙදෙනාගේ හමුවීමත් බොහොම රසවත් කතා පුවතක්. Joan Boocock කියන්නේ වෘත්තියෙන් model කෙනෙක්. ඇය මීට පෙර විවාහව සිටි කාන්තාවක්. නමුත් ඇයගේ පෙර විවාහයේ සාර්ථකත්වයක් නොතිබූ නිසා කලකිරීමෙනුයි ඇය පසුවන්නේ. ඔය අතරෙදි Joanගේ මිතුරියක් ඇයට Stanව blind date එකකින් මුණගස්වනවා. Stan Joanව හමුවන්නට ගොස් මුලින්ම ඇයව දුටු විගසම ඇයට ආදරය ප්‍රකාශ කරනවා. 1947 දෙසැම්බර් 5වන දින ඔවුන් දෙදෙනා විවාහ වනවා. වරක් Stan Joanගේ මුණ ගැසීම ගැන මේ අයුරින් පවසා තිබුණා. "ඇය තමයි මම කුඩා කල පටන් චිත්රණය කළ යුවතිය. ඒ නිසා ඇයව දුටු වහාම මම ඇයට ආදරය ප්‍රකාශ කළා". ඒ පටන් Joan මියයන තුරුම ඔවුන් දෙදෙනා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.
1950 වන විට Timely Comic ආයතනය Atlas Comics ලෙසින් නව ස්වරූපයක් ගෙන අවසන්. ආයතන ප්‍රධානී Martin Goodman සමඟ එක්ව කතිකා කොට Stan Lee; romantic, sci-fi, horror, humorous stories යනාදී ලෙස වෙනස්ම ආකාරවලින් අඩංගු කොමික් පොත් කිහිපයක්ම නිකුත්කොට අත්හදා බැලීමක් සිදු කරනවා. 1950 වසරේ මැද භාගයේදී සිය සගයෙකු වන Dan DeCarlo සමඟ එක්ව එවක ජනප්‍රිය රේඩියෝ කොමඩි වැඩසටහනක් වූ 'My Friend Irma' වැඩසටහන හා සම්බන්ධ පුවත්පත් තීරුලිපි/චිත්‍රකතා කිහිපයක් පළ කරන්නට යොමු වූවත් පසුව කලකිරීමට පත්වී එයින් ඉවත්වන්නට තීරණය කරනවා.
මේ කාල වකවානුවේදී Martin Goodman විසින් DC සමාගමට තරඟයක් එල්ල කළ හැකි තරඟකාරී සුපිරිවීරයන්ගේ කණ්ඩායමක් නිර්මාණය කරන ලෙස Stan Leeට යෝජනා කරනවා. Joan විසින් මේ වකවානුවේදී Stanට ගොඩක් උදව් කරනවා. Stanගේ දිරිමත් කරවන්නා බවට පත්වන්නේත් Joanයි. ඒ අනුව Stanගේ අත්හදාබැලීම් ඔස්සේ අලුත් චරිත බිහි කරවන්නට ඇය ඔහුව උනන්දු කරවනවා. ඒ අනුව Jack Kirby සමඟ එක්ව Stan ප්‍රථම සුපිරි වීර පවුල හඳුන්වාදෙනු ලබනවා. ඒ Fantastic Four කණ්ඩායමයි. මීට අමතරව Bill Everett සමඟ එක්ව Hulk, Thor, Iron Man සහ X-Men යනාදී චරිතත් පසුව කොමික් ලෝකට හඳුන්වා දෙනු ලබනවා. ඒ වගේම Steve Ditko සමඟ එක්ව Doctor Strange සහ මාවල් සමාගමේ ජනප්‍රියම චරිතය වන Spider-Manව හඳුන්වා දෙන්නටත් Stan Lee සමත් වනවා. මේ චරිත සියල්ලක්ම එක් තැනකට ගෙන The Avengers ලෙසින් කණ්ඩායමක් බිහි කරන්නටත් Stan Lee සහ Jack Kirbyට හැකියාව ලැබෙනවා. මේ නිසාම Stan Lee ඉක්මනින් පාඨකයන් සහ රසිකයන් අතර ජනප්‍රිය කෙනෙක් බවට පත් වනවා. ඒ අනුව 1961දී Marvel Comics සමාගම යටතේ මේ චරිත සියල්ලම ලියාපදිංචි වනවා. මීට අමතරව Captain America, Namor the Sub-Mariner යනාදී චරිතත් යළි මේ වීරයන් අතරට සම්බන්ධ වනවා. එතැන් පටන් මිය යන තුරුම Marvel සමාගම හා ඒකාබද්ධව Stan Lee වැඩකටයුතු කළා.
ඒ වගේම 2000 වසරේදී DC Comics සමාගම හා එක්ව DC Comic ප්‍රධාන මුලස්ථානයේ සිට ඔහුගේ සහාය DC Comic සඳහා සහාය ලබා දී ඇති අතර ඔහු විසින් DC Comic සඳහා නිර්මාණය කරන ලද “Just Imagine” හරහා DC Comic නිර්මාණකරුවන් සඳහා ඔවුන්ගේ චරිත ප්‍රති-නිර්මාණය කිරීමට පිටිවහලක් වී ඇති බව ද සඳහන් වෙනවා.
පක්ෂ, පැති නොගෙන හොදදේ අගය කරමින් සැමටම අවවාද, පැසසුම් ලබාදෙමින් සාර්ථක ජීවිතයක් ගතකළ Stan Lee පසුගිය නොවැම්බර් 12 වෙනිදා එකී මෙකී කොමික් රසිකයන් සියල්ලක්ම හඬවා මෙලොවින් සමුගන්නවා. මියයන විස 95 වැනි වියෙහි පසුවන මෙතුමා දැමට movie cameos 57ට අධික ප්‍රමාණයකට දායක වී තිබෙනවා. එමෙන්ම National Medal of Arts, Saturn Awards, Scream Awards, Hollywood Walk of Fame, Producers Guild of America, Visual Effects Society Awards යනාදී සම්මාන රැසකින්ම මෙතුමා පිදුම් ලදුව තිබෙනවා.
May be we will forget many Heroes, but we will always remember the man who created the Heroes!!
COMIC SCRIPT Remembers Stan "The Man" Lee and his Legacy forever
Legal Notice
All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved
All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved
ඔබට නිවන් සුව ස්ටැන් ලී.........!
ReplyDelete