හැමෝටම පැටලිලි සහගත දෙයක් ගැන කතා කරන්න යන්නේ. ඒ තමයි එඩි තමන්ටම වෙඩි තියා ගත්ත එකෙන් රිවර්ස් ෆ්ලෑෂ් කාල රාමුවෙන් මැකිලා යද්දී කොහොමද බැරි තව දුරටත් ෆ්ලෑෂ් වෙන්නේ කියන එක. ඇත්තටම මේක ගොඩක් සංකීර්ණයි. බොරු කියන්න ඕනේ නෑ. මේක ගැන හිතන කොට ඔලුවත් විකාර වෙනවා. ඒ හින්දා ඒ තනි සිද්දිය ගැන කතා නොකර අපි වෙන විදිහකින් මේ ගැන කතා කරමු. අවසානෙට කතාවේ මොකද වෙන්නේ කියලා බලන එක පස්සට කල් දාමු.
මේක ගැන කතා කරන්න නම් අපිට මල්ටිවර්ස් ගැන පොඩ්ඩක් මතකය අලුත් කරගන්න වෙනවා. අපි DC සහ මාවල් මල්ටිවර්ස් ගැන පැහැදිලි කිරීමක් කෙරුවා. මුලින්ම ඒ ලිපි කියවලා ඉන්න ඕන. නැතිනම් මේ ලිපිය තේරුම් ගන්න බෑ.
සරලව කිව්වොත් අපි ගන්න හැම තීරණයක් හින්දාම වෙනම යුනිවර්ස් එකක් හැදෙනවා න්‍යායාත්මකව. සරල උදාහරනයක් ගත්තොත් ආරම්බයේ ඉදන් මේ දක්වා තිබ්බේ එක යුනිවර්ස් කියලා හිතන්න. දැන් ඔයා ඉන්නවා. ඔයාට ආදරය කරන ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔයා එතනින් තෝරා ගන්න කෙනා එක්ක එතනින් එහාට මේ යුනිවර්ස් එක දෙපැත්තකට ගමන් කරනවා. ඒක තීරණය වෙන්නේ ඔයා ගේ එක තීරණයක් හින්දා. එතකොට ආරම්බයේ ඉදන් තිබ්බ තනි යුනිවර්ස් එකට මෙතනින් එහාට පැවතීම් දෙකක් තියනවා. අපි හිතමු ඔයා තීරණය කරනවා ගෑණු ළමයි දෙන්නාගෙන් ලස්සන සෙක්සි කෙල්ල බදින්න. ඒක තමයි එහෙනම් මෙතනින් එහාට යුනිවර්ස් එකේ පැවැත්ම. හැබයි ඒ වෙනුවට ඔයා අහිංසක හිත හොඳ කෙල්ල බැන්දොත් ඇතිවන තත්ත්වයට අනුරුප යුනිවර්ස් එකක් ඇති වෙනවා. මේක න්‍යායාත්මක සංකල්පයක් විතරයි. එතකොට මේ යුනිවර්ස් එකේ ඉන්නේ අපි විතරද? අපි ගන්නේ ඔය තීරණය විතරද? ඒ කියන්නේ මේ යුනිවර්ස් එක පහල වුණු දවසේ ඉදන් අපි ගත්ත තීරණ අනුව මේ ප්‍රමාණය වැඩි වෙනවා. මේ වෙද්දී අනන්ත ගණන් විශ්වීය පැවැත්මක් පවතින්න හැකියාව තියනවා. Justice League: Crisis on Two Earths ඇනිමේෂන් එක බලලා තියන අයට නම් මේක අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. අපි ඒ අවබෝධය මත ඉස්සරහට කතා කරගෙන යමු.
දැන් හිතන්න එක යුනිවර්ස් එකක් තියනවා. මම ඒක පැහැදිලි වෙන්න A කියන යුනිවර්ස් එක කියලා කියන්නම්. එකේ ඉන්නවා නෝරා ඇලන්, හෙන්රි ඇලන් සහ බැරි ඇලන්. බැරි ලොකු වෙද්දී එයාට අනතුරක් වෙලා එයාට වේගෙන් දුවන්න හැකියාව හම්බෙනවා. ඊට පස්සේ එයා ෆ්ලෑෂ් කියලා නමක් අරගෙන යහපත් දේවල් කරලා මැරිලා යනවා. අනාගතයේ දවසක පහල වෙනවා Eobard Thawne කෙනෙක්. මෙයා හරි ආසයි ෆ්ලෑෂ් ට. එයාගේ වීරයා තමයි ෆ්ලෑෂ් කියන්නේ. එයාට ඕනේ වෙනවා අතීතයට ගිහිල්ලා ෆ්ලෑෂ් ව හම්බෙන්න. මේ ගැන අපි කතා කෙරුවා නේ ලිපියකින්.
හැබයි මේකෙන් වෙන්නේ මෙයා බැරි ගැන තරහක් ඇතිවෙන එක. එයා තීරණය කරනවා කාලය හරහා ගිහිල්ලා බැරිව මරන්න. ඔන්න ඔතන දී තමයි පැටලීම පටන් ගන්නේ. speedster කෙනෙක් කාලය හරහා යන්නේ speedforce එක හරහා. මේක තියෙන්නේ අපි උඩින් කතා කරපු යුනිවර්ස් වලට පිටතින්. හරියටම කියනවා නම් මේ යුනිවර්ස් සේරම speedforce කියන මාධ්‍ය ඇතුලේ ගිලිලා තියනවා වගේ. කාට හරි මේ speedforce එකට ඇතුල් වෙන්න පුළුවන් නම් එයාට පුළුවන් උඩ කියපු ඕනම යුනිවර්ස් එකකට යන්න. ඒ වගේම ඕනම කාලයකට උණත්. speedster කෙනෙක් කාලය හරහා යනවා කියන එක සිද්ද වෙන්නේ ඒ විදිහට.
දැන් ඔය විදිහට රිවර්ස් ෆ්ලෑෂ් කාලය හරහා ගිහින් බැරිව මරන්න උත්සාහ කරනවා. එතන දී තමයි එයාට තේරුම් යන්නේ බැරි මැරුනොත් ෆ්ලෑෂ් කෙනෙක් නෑ කියන එක. එතකොට අනාගතයේ දවසක රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් බිහිවෙන්නේ නෑ. ඒ හින්දා එයාට මොනවා කලත් බැරිව මරන්න බෑ. ඒ වගේම බැරි ෆ්ලෑෂ් කරන්න ත් ඕනේ.
අපි නිකමට හිතමු මෙතන දී රිවර්ස් ෆ්ලෑෂ් විසින් බැරිව මරනවා කියලා. එතකොට මොකද වෙන්නේ. සිද්දිය තේරුම් යන්න අපි දින ටිකක් දා ගමු. රිවර්ස් ෆ්ලෑෂ් 25 වෙනි සියවසින් එන්නේ 2401 ජනවාරි 01 කියලා ගමු. (ටීවී සිරිස් එකේ නම් එන්නේ අවුරුදු 136 අනාගතේ ඉදන්. මේ වෙනස අපිට වැදගත් නෑ. මම ඒ හින්දා කොමික් එකේ කාලයම ගන්නවා.) එතකොට එයා බැරිව මරන්න උත්සාහ කරන දවස 2001 ජනවාරි 01 කියලා ගමු. දැන් රිවර්ස් ෆ්ලෑෂ් 2001 දී බැරි මැරුවොත් බැරි ෆ්ලෑෂ් වෙන්නෙත් නෑ. අනාගතයේ පහළ වෙන Eobard Thawne ට ෆ්ලෑෂ් ගැන අහන්න වෙන්නෙත් නෑ. එයාට කාලය හරහා එන්නත් බෑ. ඒ කියන්නේ 2001 දී රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ඉන්න බෑ. එයා ඒ කාල රාමුවෙන් අයින් වෙන්න ඕනේ. ඒ ටික පැහැදිලි නේ හොදටම.
මෙතන දී තව දෙයක් ගැන අපි හිතන්න ඕනේ. ඒ තමයි Grandfather paradox කියලා හදුන්වන සංසිද්ධිය. ඒකෙන් කියන්නේ මම අතීතයට ගිහිල්ලා මගේ ආච්චිව හම්බෙන්න කලින් සියා මැරුවොත් අනාගතයේ දවසක මම කියන පුද්ගලයා බිහි වෙන්නේ නෑ. එතකොට ආපහු අතීතයට යන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනේ. කොමික් වල දී මේ විරුද්ධාභාශය මඟ හරවා ගන්නේ ඕල්ටර්නේට් යුනිවර්ස් සංකල්පයෙන්. එතකොට වෙන්නේ අපි අතීතයේ දෙයක් වෙනස් කලොත් අපිට ආපහු එන්න වෙන්නේ වෙනස් යුනිවර්ස් එකට. දෙවෙනියට නිර්මාණය වෙන්නේ අපි ඇති කරපු වෙනසට අනුව යන යුනිවර්ස් එකක්. ඒ දෙවෙනියට නිර්මාණය වෙන යුනිවර්ස් එක හින්දා අර කියපු ගැටලුව ඇති වෙන්නේ නෑ. මෙතනින් එහාට මුලින්ම තිබ්බ යුනිවර්ස් එකට පැවැත්මක් නෑ. කොමික් වල දී නම් කියන්නේ ඒ යුනිවර්ස් එක විනාශ වෙලා යනවා කියලා.
අපේ උදාහරණයේ දී මේක සිද්ද වෙන්නේ කොහොමද කියලා බලමු. 2001 දී රිවර්ස් ෆ්ලෑෂ් බැරීව මරපු හින්දා ෆ්ලෑෂ් කෙනෙක් බිහි වෙන්නෙත් නෑ. එතකොට 2401 දී රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් බිහිවෙන්නෙත් නෑ. දැන් එතකොට 2001 දී රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ආවේ කියන ප්‍රශ්නයට ආපහු යන්න ඕනේ නෑ. මොකද මෙතන දී හැදෙනවා අලුත් යුනිවර්ස් එකක්, ඒ කේ රිවර්ස් ෆ්ලෑෂ් කියන සාධකය නෑ. හැබයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ 2401 දී Eobard Thawne කියලා කෙනෙක් නෑ කියන එක. එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. බැරිවෙලා හරි හිටියොත් එයා ෆ්ලෑෂ් කියලා කෙනෙක් ගැන දන්නේ නෑ. ඔහේ ජිවත් වෙලා මැරිලා යනවා. මේක අපි කලින් කතා කරපු A කියන යුනිවර්ස් එකට වඩා වෙනස් හින්දා වෙන් කරලා හදුනා ගන්න A1 යුනිවර්ස් එක කියලා කියමු.
අනාගතයේ දවසක (මේ කියන්නේ A1 යුනිවර්ස් එක) Eobard Thawne බලයක් නැතුව නිකම්ම ඉන්න නෙවෙයි මේ සේරම දේවල් කරන්නේ. එයාට ඕනේ 2401 දී රිවර්ස් ෆ්ලෑෂ් වෙන්න. එහෙනම් මොන දේ උනත් බැරි මැරෙන්න බෑ. බැරී මැරෙන්නේ නෑ කියන්නේ අපිට A1 යුනිවර්ස් එක අමතක කරන්න පුළුවන්. මොකද බැරී ජිවත් වෙනවා නම් දිගටම පවතින්නේ A යුනිවර්ස් එක.
රිවර්ස් ෆ්ලෑෂ්ට බැරීව මරන්න බැරි උණත් එයාට ඕන කරනවා බැරිගේ ජිවිතේ අපායක් කරන්න. ඒ හින්දා එයා කරන්නේ බැරි ගේ අම්මා මරණ එක. රිවර්ස් ෆ්ලෑෂ් බැරි ගේ අම්මා මරපු එකෙන් ආපහු කාල රාමුව වෙනස් වෙනවා. කලින් තිබ්බේ A කියන යුනිවර්ස් එක. එකේ දී හැමෝම ඉන්නවා නේ. හැබයි නෝරා ඇලන් නැති උනාට පස්සේ ඇතිවනවා වෙනස් යුනිවර්ස් එකක්. මේ යුනිවර්ස් එකේ දී බැරි ජිවත් වෙනවා. හැබයි එයා අම්මා නැති උන කම්පනයෙන් ජිවත් වෙන්නේ. ඒ උනත් එයාට ඒ කියන්නේ අනාගතේ දවසක එයාට ෆ්ලෑෂ් වෙන්න පුලුවන්. එතකොට Eobard Thawneට රිවර්ස් ෆ්ලෑෂ් වෙන්නත් පුළුවන්. අපි මේ යුනිවර්ස් එක B කියලා ගමු. ඇත්තම කියනවා නම් මේ B කියන යුනිවර්ස් එක තමයි අපි ජිවත් වෙන යුනිවර්ස් එක. මොකද අපි දන්නේ පොඩි කාලේ දී බැරි ගේ අම්මා මැරෙනවා කියලා. ඒක උනේ අනාගතෙන් ආව කෙනෙක් අතින් ද කියන එක මේ යුනිවර්ස් එකට අදාළ නෑ. මොකද මේ යුනිවර්ස් එක A කියන යුනිවර්ස් එකෙන් වෙනස් උනේ නෝරා ඇලන් මිය ගියපු හින්දා.
රිවර්ස් ෆ්ලෑෂ් නෝරා වෙනුවට හෙන්රි මැරුවොත් එහෙම අපිට දකින්න හම්බෙන්නේ වෙනම විදිහේ යුනිවර්ස් එකක්. අපිට ඕනේ නම් ඒක B1 කියලා නම් කරන්නත් පුළුවන්.
මේ දක්වා සිද්ධිය පැහැදිලි කියලා හිතනවා. අපි දැන් ජිවත් වෙන්නේ වෙනස් උණු යුනිවර්ස් එකක. ඒක තමයි B කියන්නේ. මේක වෙනස් වෙලා හින්දා A කියන යුනිවර්ස් එක තව දුරටත් පවතින්නේ නෑ. එතකොට රිවර්ස් ෆ්ලෑෂ් ආපහු යන්නේ B යුනිවර්ස් එකේ 2401 ට. හැබයි බැරී ෆ්ලෑෂ් වෙන හින්දා 2401 දී රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ඉන්නවා. හැබයි ඒ රිවර්ස් ෆ්ලෑෂ් ට අනුව එයා දන්නේ 2001 දී බැරීගේ අම්මා මැරුණා. එයා ෆ්ලෑෂ් උනා. පස්සේ කාලෙක තමන් රිවර්ස් ෆ්ලෑෂ් උනා කියලා. කලින් යුනිවර්ස් එක විනාශ උනාම ඒ යුනිවර්ස් එකේ මතකය මෙතනට බලපෑමක් වෙන්නේ නෑ. මොකද දැන් තියන යුනිවර්ස් එකේ දී වෙනම මතකයක් එයාට තියන හින්දා.
තවම මම ෆ්ලෑෂ් කතාවේ සිද්ද වුණු තැනට ආවේ නෑ. මේ සම්පුර්ණ ලිපිය තනි එකක් විදිහට ලිව්වේ. ඒත් අපේ ඇඩ්මින් වරු සේරම එක මතයකට ආවා මේ කරුණු ටිකක් සංකීර්ණ වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ටික ටික කතා කරමු කියලා. දැනට මේ ලිපියේ විස්තර තේරුම් ගන්න බලමු. මොකද මෙතනින් එහාට යන්න බෑ මේ කරුණු නැතුව. හැබයි දැන්ම අවසාන තීරණ වලට යන්න එපා. අද හැන්දෑවේ අනිත් ලිපියත් දානකල් ඉන්න.
#attila_THE_hun
Comic Script ලිපිය
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න