ගොඩක් දෙනෙක් අපෙන් විස්තර අහලා තිබ්බ කාරණයක් තමයි මොකක්ද මේ 4th Wall කියන්නේ. ඒක ඉක්මවලා යනවා කියන්නේ මොකක්ද කියලා. අපි කොමික් වලට අදාලව මේක කතා කෙරුවට මේක සියළුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය වලට අදාළ දෙයක්. එහෙනම් අපි මේ 4th Wall එහෙමත් නැතිනම් සිව්වෙනි පවුර කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බලමු. මුලින්ම කියන්න ඕනේ මේක පටලවා ගන්න එපා 4th dimension එහෙමත් නැතිනම් සිව් වෙනි මානයත් එක්ක. මෙතන දී අපි කතා කරන්නේ ත්‍රිමාන වස්තුවක කාලයත් සමඟ අවකාශීය පැවැත්ම නිරුපනය වෙන සිව් වෙනි මානය ගැන නෙවේ.
මේ සිව් වෙනි පවුර කියන එක ඇති වුනේ කොහොමද කියලා බැලුවොත් අපිට මේක තේරුම් ගන්න ගොඩක් ලේසියි. මුලින්ම නිර්මාන මිනිස්සු අතරට ගෙනාවේ නාට්‍ය විදිහට නේ. මේවා පෙන්වන්නේ මිනිස්සු සමුහයකට. ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉද්දි නාට්‍ය කණ්ඩායම තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කරනවා. වඩා නිර්මාණ ශීලි විදිහට ඉදිරිපත් කරන්න ඕනේ හින්දා ඒ අය පසුතල භාවිතා කරන්න ගත්තා. මේක හරියටම පැති 5 ක් තියන පෙට්ටියක් වගේ කියලා හිතන්න. එකේ විවෘත පැත්තෙන් තමයි ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නේ. එතකොට බිමට හැරිලා තියෙන්නේ පැත්ත උඩ එහෙමත් නැතිනම් වේදිකාව මත ඉදන් තමයි මෙයාලා නාට්‍ය ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ අපිට පැති 4 ක් තියනවා. වටේ තියන පැති තුන සහ උඩින් තියන පැත්ත. මෙතනින් උඩින් තියන පැත්ත එලියට පේන්නේ නෑ. ඒ හින්දා ඒක අමතක කරලා ඉතිරි පැති තුන තමයි සරසන්නේ. ඒ කියන්නේ කතාව ගලාගෙන යන්නේ ඒ පැති තුන පාදක කරගෙන. නාට්‍ය පෙන්වන ඉඩ කඩ සහ ප්‍රේක්ෂකයෝ වෙන් කරන්නේ සිව් වෙනි බිත්තිය කියන මනකල්පිත බිත්තියකින්. තිරය ඇරපු ගමන් මේ බිත්තිය නිර්මාණය වෙනවා. මේකට තමයි සිව් වෙනි බිත්තිය කියන්නේ.
මුල්ම කාලේ නිර්මාණ වලට භාවිතා කෙරුවේ මුලින් කියපු බිත්ති තුන විතරයි. ඒත් පස්සේ කාලේ නාට්‍ය නිර්මාණ කරුවෝ තේරුම් ගත්තා මේ සිව්වෙනි බිත්තියෙනුත් වැඩක් ගන්න පුලුවන් කියලා. ඒ කියන්නේ එයාලගේ නිර්මාණය අර පෙට්ටියෙන් එලියට ගේනවා. එතකොට එයාලට පුළුවන් උනා බලාගෙන ඉන්න නරඹන අය තමන්ගේ නිර්මාණය ට දායක කර ගන්න. ඒ කියන්නේ නාට්‍ය යන අතර තුරේ දී වේදිකාවේ ඉන්න අයට වෙනම දෙයක් කියනවා. එහෙමත් නැතිනම් වේදිකාවේ ඉන්න කෙනෙක් ගැන කතා කරනවා. නාට්‍ය තියන තලය ගත්තාම මේක හරියට තවත් බිත්තියක් විතරක් වගේ ක්‍රියා කරන හින්දා මේකට සිව් වෙනි පවුර කියලා කිව්වේ. එතකොට මේක යොදා ගන්න එකට තමයි කියන්නේ 4th Wall Awareness එහෙමත් නැතිනම් 4th Wall break කියලා.
වේදිකා නාට්‍ය වලට අමතරව චිත්‍රපට, රුපවාහිනි නාට්‍ය වගේ අනිත් මාධ්‍ය භාවිතයට ආවට පස්සේ මේ සිව්වෙනි පවුර ගොඩක් ලොකු අභියෝගයක් උණා. මොකද ඒ අයට නරඹන්නා එක්ක සෘජු සම්බන්ධයක් නෑ. ඒ හින්දා ඒ අයට සිද්ධ උනා ඉතිරි පසුතල වලින් විතරක් වැඩක් ගන්න. මේ විදිහට වේදිකා නාට්‍ය වලින් අනිත් මාධ්‍ය වලට මාරු වෙද්දී සිද්ධ උනේ මේ විදිහේ භෞතික වෙනස් කමක් විතරක් නෙවේ. කලින් වේදිකාවේ නරඹන අය එක්ක අන්තර් සම්බන්ධයෙන් කටයුතු කරපු චරිත වලට ඒ හැකියාව නැති උණා. ඒ අය තමන් ගේ පසුතලයට විතරක් සිමා උණා. ඒ කියන්නේ ඒ චරිත දන්නේ නෑ තමන් මේ කරන්නේ රඟ පෑමක් කියලා. මොකද එයාලට සිව් වෙනි පවුර එක්ක සම්බන්ධ වෙන්න බැරි හින්දා. එයලා තමන්ගේ කතාවට විතරක් සිමා වෙනවා. එතකොට තව දුරටත් එයාලා සිව්වෙනි පවුර ගැන අවධානය කරන්න බැරි තැනට ආවා. ඒ හින්දා ඒ හැම චරිතයක්ම දිශානත වෙන්න උනේ, ක්‍රියා කරන්න උනේ එක්කෝ දෙපැත්තට නැතිනම් පිටිපස්සට. එයාලට හරි කෙලින් බලා ගෙන කියන්න විදිහක් නෑ. මොකද ඒ පැත්තට තියෙන්නේ සිව් වෙනි පවුර. එයාලට ඒක භාවිතා කරන්න බෑ එතනින් එහාට කව්රුවත් ඉන්නවා කියලා දන්නේ නැති හින්දා.
මේ දක්වා පැහැදිලියි කියලා හිතනවා.
මේ සිද්ධියම තමයි කොමික් පොත් වලට උනෙත්. මොකද කොමික් කියන්නෙත් රූප රාමුවෙන් රූප රාමුවට ගලාගෙන යන දෘශ්‍ය මාධ්‍යක්. එතකොට කොමික් පොතක ඉන්න චරිතයකට සිද්ධ වෙනවා 4 th Wall එකට මෙහායින් නතර වෙන්න. ඒ හින්දා කොමික් පොතක චරිතයක් උණත් කෙලින්ම අපි දිහා බලාගෙන ඉන්න විදිහට නිරුපනය කරන්නේ නෑ. අනිත් දිශා වලට තමයි මුහුණ පාලා ඉන්නේ.
කාලයත් එක්ක නිර්මාණ කරණය දියුණු වෙද්දී මේ 4th Wall එක අභිබවා යන්න පුළුවන් කියලා නිර්මාණ කරුවෝ හොයා ගත්තා. අපි බලමු ඒ අය ඒ සඳහා භාවිතා කරපු උපක්‍රම මොනවා ද කියලා.
කතාවේ සීමාවන් ට ඔබ්බට ගමන් කිරීම
මේක තමයි බහුල වශයෙන්ම අපිට දකින්න ලැබෙන්නේ. ඒ හින්දා ගොඩක් අය මේක 4th Wall Break එකක් කියලා පිළිගන්නෙත් නෑ. මෙතන දී වෙන්නේ යම්කිසි චරිතයක් තමන් ජිවත් වෙන මනකල්පිත යුනිවර්ස් එකෙන් පරිභාහිර දෙයක් ගැන දැනුවත් වීම. සරල උදාහරණයක් කිව්වොත් Marvel කොමික් වල චරිතයක් එක තැනක දී DC කොමික් එකේ චරිතයක් ගැන කිව්වොත් ඒක 4th Wall Break එකක්. හැබයි මේ මතයේ පොඩි ගැටළු තියනවා. මොකද ඕනෑ තරම් අපිට හම්බෙනවා පරිභාහිර දේවල් කතා කරපු අවස්ථා. ඒ කාල වක වානුවේ ජනප්‍රිය නිර්මාණයක සඳහනක් සමකාලින නිර්මාණ වල ගොඩක් වේලාවට තියනවා. උදාහරණයක් විදිහට Star Wars, GoT ගැන කරන සඳහන් අපිට නිතරම හම්බෙනවා. ඒ හින්දා ගොඩක් අය මේක 4th Wall Break විදිහට පිළිගන්නේ නෑ. හැබයි සමහර චරිත අපිට හම්බෙනවා අසාමාන්‍ය විදිහට මේ හැකියාව පෙන්නුම් කරපු. අපි ඒ ගැන පස්සේ කතා කරමු.
ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය
මේ උපක්‍රමයත් අපිට බහුලවම දකින්න ලැබෙනවා. යම්කිසි චරිතයක් අපි දිහා බලාගෙන කතා කරනවා නම් (කතා කරන එක විතරක් නෙවේ ඉඟි මරන එක, හිනාවෙන එක, ඔරවන එක වගේ ඕනෑම සන්නිවේදනයක්) එයාත් එක්ක ඉන්න අයට ඒ කතා කෙරුවේ කාටද කියලා හොයා ගන්න බැරි නම් ඒ කතා කරලා තියෙන්නේ ප්‍රේක්ෂකයාට. රූපමය මාධ්‍ය වල නම් කරන්නේ අදාළ චරිතය කැමරාව දිහා බලාගෙන කතා කරන එක.
තමන් මනකල්පිත චරිතයක් දැන ගැනීම
මේ හැකියාව නම් ටිකක් ඉහල මට්ටමේ හැකියාවක්. මෙතන දී වෙන්නේ අදාළ චරිතය තමන් ඉන්නේ මනකල්පිත ලෝකයක කියලා එහෙමත් නැතිනම් තමන් වෙන කෙනෙක් ගේ හිතේ නිර්මාණය වුනු දෙයක් විතරයි කියලා තියන අවබෝධය.
මනකල්පිත ලෝකයෙන් එළියට පැමිණීම
අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ හැකියාව කලින් කතා කරපු සේරටම වඩා ඉහලා මට්ටමේ හැකියාවක් කියලා. තමන් මනකල්පිත චරිතයක් කියලා දැන ගන්න එකට අමතරව එයාට පුළුවන් ඒ මනකල්පිත ලෝකයෙන් අපි ඉන්න ලෝකයට එන්න.
යථාර්තය වෙනස් කිරීම
මේක නම් 4th Wall Break වල තියන මාස්ටර් ලෙවල් එකක් වගේ. මෙතන දී වෙන්නේ 4th Wall Break හැකියාව තියන කෙනාට පුළුවන් තමන් ඉන්න මනකල්පිත පරිභාහිර දෙයක් එහෙමත් නැතිනම් උපක්‍රමයක් භාවිතා කරන්න. එතකොට එයා හිටපු මනකල්පිත ලෝකයේ අයට ඒ දේ සිද්ධ උනේ කොහොමද කියලා තේරුම් ගන්න බෑ.
මීට අමතරවත් අපිට 4th Wall Break සිද්ධ වුනු තැන් කිහිපයක් හම්බෙනවා. හැබැයි ඒවා එක්කෝ මේ කතා කරපු දේවල් වල මිශ්‍රණයක් එහෙමත් නැතිනම් ඊට ආසන්න අවස්ථාවක්. ඇත්තම කියනවා නම් මේක ඉරි ගහලා වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවේ. තේරුම් ගැනීමේ පහසුවට හදා ගත්ත දෙයක්.
අපේ කතාව කොමික් වලට විතරක් සම්බන්ද හින්දා අපි බලමු කොමික් වලින් මේ හැකියාව තියෙන්නේ කාටද කියලා.
Deadpool
4th Wall Break කියද්දී ම අපේ ඔළුවට එන්නේ මාවල් කොමික් වල ඉන්න Deadpool. මෙයා ඉතින් 4th Wall Break වල දැනට ඉන්න ඉහල මට්ටමේ කෙනා නේ. මෙයා ගැන පොඩිවට කතා කරන්න බැරි හින්දා අපි සම්පුර්ණ ලිපියක් වෙන් කරන්න හිතුවා මෙයාගේ හැකියාවන් වලට.
She-Hulk
Deadpool තරම් ම නැති උණත් මෙයා ත් සෑහෙන දුරකට මේ හැකියාව ප්‍රගුණ කරපු කෙනෙක්. ගොඩක් අයට හිතාගන්නවත් බැරි දේවල් මෙයා කොමික් වල දී කරනවා.
සාමාන්‍යයෙන් මේ දෙන්නා තමයි ඉහලම මට්ටමේ 4th Wall Break හැකියාව තියන අය විදිහට පිළිගන්නේ. මීට අමතරව,
Louise Mason (Marvel)
Uatu the Watcher (Marvel)
Loki (Marvel)
Rick Jones (Marvel)
Wyatt Wingfoot (Marvel)
Howard the Duck (Marvel)
The Joker (DC Comics)
Ambush Bug (DC Comics)
Animal Man (DC Comics)
Lyssa Drak (DC Comics)
වගේ කට්ටියත් මේ හැකියාව පෙන්නුම් කරලා තියනවා. අපි එහෙනම් ඊලඟ ලිපි වලින් මේ කට්ටිය කොහොමද මේ දේවල් කෙරුවේ කියන එක පොඩ්ඩක් හොයලා බලමු.
Amadeus_chO
wow
ReplyDeleteGood Psot
ReplyDelete