Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

කාලමනුශ්‍ය ගැන කථාබහක්

කාලමනුශ්‍ය ගැන කථාබහක්


ර්ථමාන තරුණ පරපුර හැම වෙලේම වගේ ලාංකීය සමාජය තුලට නැවුම් අත්දැකීම අරගෙන උත්සාහ කරන බව
නිතර පේනෙන්නට තියෙන දෙයක්, ඉතින් අද අපි අරගෙන එන්නෙත් අන්න ඒ වගේම අති සාර්ථක නිර්මාණයක්
වගේම නිර්මාණ මාලාවක ආරම්භ්යක් ගැන කතා කරන්න. එහෙනම් අපි ඒ කථාව පැත්තට හැරෙමු, අද කොමික්
ස්ක්‍රිප්ට් එකත් එක්ක එකතු වෙන්නේ සදකැලුම් වේවිට, ඒ කාලමනුෂ්‍ය කොමික් මාලාව ගැන තොරතුරු බෙදාගන්න.


Q-  මුලින්ම මම ඇහුවොත් කාලමනුශ්‍ය කියන නිර්මාණය ඔබෙ වචන වලින් මොකක්ද ?
A - කාල මනුෂ්‍ය කියන්නෙ කෙටියෙන් ලංකාව මූලික කරගත් සුපිරි වීරයන්ගේ විශ්වයක ආරම්භය කිව්වොත්
නිවැරදියි. සුපිරි වීරයෙක් කියන්නෙ කවුද? සුපිරි වීරයෙක් කියන්නෙ පුද්ගලයෙක් ද නැත්නම් සුපිරි මිනිසෙකුගේ
එක්තරා මොහොතක් ද? සුපිරි වීරයාගේ සටන තියෙන්නෙ බාහිර බලවේගයන් සමඟ ද? නැත්නම් ඒක අභ්‍යන්තර
සටනක් ද? ආලෝකය සහ අන්ධකාරය අතර සිදුවෙන සටනක් මොන වගේද? මේ වගේ ප්‍රශ්න රැසකට කාල
මනුෂ්‍ය හරහා උත්තර හොයන්න අපි බලාපොරොත්තු වෙනවා.

Q - ඇයි මේ වගේ නිර්මාණයක් කරන්න පෙලඹුනේ ?
A - අපි පොඩි කාලේ ඉඳන් සුපිරි වීරයන් ගැන කොමික් මාධ්‍යයෙන් කියවලා තියනවා.
හල්ක්, සුපර්මෑන්, බැට්මෑන්, කැප්ටන් ඇමෙරිකා, ඒ වගේම ජෝකර් වගේ විලන් චරිතත්.
පස්සෙ කාලෙක අපි මේ අයව සිනමාව හරහාත් දැක්කා. නමුත් මේ හැමෝම අපේ රටට ආනයනය වුණ අපරදිග
මූලයන් සහිත චරිත. පෙරදිග ලෝකයට ඉතාමත් පොහොසත් සාහිත්‍යයක්, මිත්‍යා මතවාද, ජනප්‍රවාද වගේම
අපරදිග ලෝකයට හසු නොවුණ 'මැජික් ටච්' එකක් තියනවා.
නමුත් ලංකාවේ චිත්‍ර කතා සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් අපේ හිතේ රැඳුණ චරිතයක් හෝ විශ්වයක් වෙත යන්න
තවමත් අපිට බැරිවෙලා තියනවා. ඉතින් අපි හිතුවා මේ පෙරදිග ලෝකයේ මායාමය අහුමුළු හොයා යන්නත්,
ලංකාව මූලික කරගත්, විද්‍යාවෙන්, ඉපැරණි මිත්‍යාවන්ගෙන් සහ අධ්‍යාත්මික ගවේෂණයන් තුලින් බිහිවෙන සුපිරි
වීරයන්ගේ සහ විශ්වයක අඩුව පුරවන්නත්. ඒ සඳහා අපේ පළමුවන වෑයම තමයි මේ, කාල මනුෂ්‍ය. සුපිරි වීරයෙක්
හොයාගෙන යන මායාමය චාරිකාවක්.


Q - මේ නිර්මාණය සදහා පසුබිම් උනේ මොන වගේ දෙයක්ද ?
A - තාරක කල්දේරා සමඟ ඇතිවුණ සංවාදයකදී අපිට දැනෙනවා ලංකාව වගේ මායාමය සාහිත්‍යයකින් වගේ ම
නිර්මාණශීලී පරිකල්පනයක් ඇති, ගැඹුරු අධ්‍යාත්මයක් ඇති රටක අපේම කියලා මායාමය විශ්වයක් නැතිකමේ
අඩුව. ඒ වගේ ම අපේ කතා ඉදිරිපත් කිරීමේ ඒකාකාරී බවින් තොර වෙන්නත්, පැරණි කතාම නැවත නැවත වර
නැඟීමට වෙනසක් කර්න්නත් අපිට අවශ්‍ය වුණා. අපි තීරණය කලා අපේ අළුත් කතාව කියන්න අළුත් මාධ්‍යයක්
තෝරගන්න. එහෙම තමා කාල මනුෂ්‍ය උපත ලබන්න පසුබිම නිර්මණය වෙන්නෙ.


Q - හොදයි, නිර්මාණයට අදාල කථාව පිළිබද යම් අදහසක් දුන්නොත් රසිකයන්ට?
A - කතාවට පාදක වෙන්නෙ 1995 වසරේ දී කළුවර අන්දර කියන ගම්මානයට ලඟාවෙන තරුණයෙක්. ඔහුට
මුහුණ දෙන්න සිදුවෙන යම් යම් සිදුවීම් සහ ගම්මානය වටා බැඳී ඇති මායාවන් මේ තරුණයාගේ වගේ ම
ගම්මානයේජීවිතත් වෙනස් මඟකට යොමු කරවනවා. කාල මනුෂ්‍ය කියන සුපිරි වීරයා බිහිවෙන්න ඉපැරණි
මායාවන් සහ මිනිසෙකුගේ අධ්‍යාත්මික සටන මූලික වෙනවා.


Q- කොමික් කියන්නේ ලොව පුරා ජනප්‍රිය ප්‍රභල Story-Telling Platform එකක් උනාට තාම ශ්‍රී ලාංකික
බහුතරයකට මේක නැවුම් යම්තාක් දුරකට, ඔබ ඒ අභ්යෝගයට මුහුණ දුන්නේ කෙසේද ?
A - ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. විශේෂයෙන් ලංකාව පාදක වුණ සිංහල කොමික් සඟරාවක් ලංකාවේ
ඉන්න බටහිර කොමික් රසිකයන්ට පවා නුහුරු අත්දැකීමක් නිසා. ඒ වගේම ලංකාවට හුරු චිත්‍ර කතා පත්තර කියන
සංකල්පයෙන් බැහැරව අපි මේ කතාව ඉදිරිපත් කරන නිසා. නමුත් මං හිතන්නේ ශ්‍රී ලාංකික කොමික් රසිකයාට
දැනෙන හිස්තැනක් පුරවන්න අපි සමත් වෙලා තියනවා. ඒ ඔවුන්ගේම අනන්‍යතාවක් ඇති ආනයනය නොකරන
ලද සුපිරි වීරයන් සහ විශ්වයක් රසිකයන් හමුවට ගෙන ඒම මඟින්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා බටහිර
කොමික් රසිකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙන්නත්, ඒ වගේම කාල මනුෂ්‍ය වටා නව කොමික් රසික ප්‍රජාවක්
බිහි කරන්නත්. ඔවුන් සමඟ මේ අභියෝගය ජයගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.


Q - වාණිජ මට්ටමේන් මේ වගේ නිර්මාණයක් කරන කොට ආපු අභියෝග ගැන මතක් කරොත්?
A -  ඔව්, ඔබ කිව්වා වගේ කොමික් තාමත් ලංකාවට අළුත්, ඒ නිසා අපිට සිද්ධ වෙනවා මූල්‍යමය ප්‍රතිපාදන සොයා
ගැනීමේදී වගේම මේ නිර්මාණය පාඨකයන් අතරට ගෙන යාමෙ දී විවිධ ගැටළු වලට මුහුණ දෙන්න. නමුත් අපිත්
කොමික් රසිකයන් සහ කතා කියන්නන් විදියට කැපවීම මතම ඒ අභියෝගය ජයගන්න අපිට පුළුවන් වුණා. අපි
තවමත් විවිධ හැලහැප්පීම් සමඟ ඉදිරියට යනවා.


Q - මෙහි නිර්මාණ දායකත්වය සම්පූර්ණයෙන්ම ඔබේද ? නැතිනම් මේක සාමූහික ප්‍රයත්නයක්ද ? ඒ ගැන කථා
කරොත්?
A - කාල මනුෂ්‍ය කියන්නෙ තාරක කල්දේරාගේ පරිකල්පනය හමුවේ බිහිවෙන සහ චමිල් හර්ෂණ අතින් ඇදෙන
සහ වර්ණ ගැන්වෙන නිර්මාණයක්. ඔව් මේක සාමූහික නිර්මාණයක්. ඉදිරියේදී තවත් කතා කියන්නන් සහ
නිර්මාණකරුවන් අපේ කොමික් විශ්වයේ මැවුම්කරුවන් වේවී.


Q -  අනාගත කාලමනුශ්‍ය රසික ප්‍රජාව වෙනුවෙන් මොනවද ඔබ දෙන්න සූදානම් වෙලා ඉන්නේ?
A - ලංකාවේ කොමික් රසිකයන් මාවල්, ඩීසී වගේ දැවැන්ත කොමික් විශ්වයන් වලට ආදරය කරනවා.
අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට කාල මනුෂ්‍ය සමඟ ඔවුන්ට හඳුන්වාදෙන අපේම නව පෙරදිග වීරයන්
සැරිසරන විශ්වයක අත්දැකීම ලබාදෙන්න. කාල මනුෂ්‍ය කියන්නෙ අපිට ඉතා දීර්ඝ ගමනක ආරම්භයක් පමණයි.
සමහර විට කොමික් මාධ්‍යයෙන් ඔබ්බට ගිහින් අපේම සුපිරි වීරයන් රිදී තිරයන් ඔස්සේ ජීවය ලබනවා දකින්නත්
ඔවුන් හට හැකියාව ලබෙයි.


Q - නිර්මාණය මිලදී ගන්න පුළුවන් මාධ්‍ය ගැන කථා කලොත් ?
A- අපේ කොමික් රසිකයන්ට දැන් හැකියාව තියනවා ලිබර්ටි ප්ලාසා හි Red Dot Geek වෙතින් අපේ කලාප
ලබාගන්න. ඒ වගේ ම Online හරහා Grantha.lk වෙතින් ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්නත් හැකියාව
තියනවා. ඉදිරියේදි තවත් ආයතන සහ මාධ්‍යයන් මඟින් කාල මනුෂ්‍ය සිංහල කොමික් සඟරාව රසිකයන් වෙත
ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.


Q - ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද මේ කොමික් කලාව තුල ?
A -  කොමික් කලාව කියන්නෙ කතාවක් ඉදිරිපත් කරන්න හැකි ඉතාමත් ප්‍රභල මාධ්‍යයක් කියලා අපි විශ්වාස
කරනවා. අපි කතා කියන්නන් විදියට ලංකාව තුල තවමත් නැවුම් කොමික් හරහා නව විශ්වයක අහුමුළු සොයා
යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ නව කොමික් සංස්කෘතියක් සහ කතිකාවතක් ඇති කරන්නත්
අපි වෙහෙසෙනවා. කොමික් තුලින් අපිට මුණ ගැහෙන්නෙ සුපිරි බලයක් තියන මිනිසුන් පමණක් නෙවෙයි.
මෑතකදි ජනප්‍රියත්වයට පත් වුණ ජෝකර් වගේ චරිතයක් ගත්තම අපිට පේනවා කොමික් ලෝකය විද්‍යාව, ඉපැරණි
මිථ්‍යාවන් වගේම සමාජීය, දේශපාලනික සහ අධ්‍යාත්මික චාරිකාවක් ද වෙනවා කියලා. ඉතින් අපේ
බලාපොරොත්තුව වින්දනය, ආශ්වාදය වගේම සමාජිය සහ අධ්‍යාත්මික වශයෙනුත් සුපිරි වීරයන් සහ සුපිරි
ප්‍රති-වීරයන් සමඟ ආකර්ෂණීය චාරිකාවක යෙදෙන්න.




Q - අවසාන වශයෙන් ඔබ ඔබේ රසිකයන්ට දෙන පණිවිඩය මොකක්ද ?
A - කාල මනුෂ්‍ය කියන්නේ ලංකාවේ කොමික් සාහිත්‍ය තුල නව ජවයක් ඇතිකරන්න ගත්තු පළවෙනි උත්සාහය
. ඉතින් අපි අනිවාර්යෙන්ම කොමික් රසිකයන්ගේ අදහස්, උදහස්, යෝජනා බලාපොරොත්තු වෙනවා. මේ ගමනේදී
රසිකයන් අපේ පාර්ශ්වකරුවන්, ඔබගේ සිතැඟි අඳුනාගෙන වින්දනීය ගමනක් ඔබව රැගෙන යන්න අපි සූදානම්. ඒ
වගේ ම කාල මනුෂ්‍ය තුලින් ආරම්භ වුණ මේ ගමන තවත් සුපිරි වීරයන් සහ වීරවරියන් සමඟ යන මේ ගමනේදී
එහි කොටස්කරුවන් වෙන්නත් ඔබට අවස්ථාව ලැබේවී. කොමික් වලින් නොනැවතී වෙනත් මාධ්‍යයන් වෙතත්
ගිහින් නව කොමික් විශ්වයක ජීවමාන අත්දැකීම් විඳගන්නත් දිනෙක ඔබට මට අවස්ථාව ලැබේවී. ඒ ගමනට
අපිත් එක්ක එකතුවෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා.


හොදයි, ඇත්තටම හිත පුරාවට සතුටු වෙන්න වගේම ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක, අපිට
නුදුරේදීම පුළුවන් වෙයි අපේම කොමික් කියවන්න, ඒ වගේම ඒවා විචාරය කරන්න විතරක් නෙවෙයි ඒ නිර්මාණ
තුලින් පාදක වෙන තවත් දැවැන්ත නිර්මාණයන් රසවිදින්න. එහෙනම් අද අපිත් එක්ක එකතු වෙලා තමන්ගේ
කාළය කැප කරමින් කාලමනුෂ්‍ය ගැන අපිට කිව්වට සදකැලුම්ට අපි කොමික් ස්ක්‍රිප්ට් කණ්ඩායම බොහෝම
ස්තූතිවන්ත වෙන්වා. ඒ වගේම ඉදිරියේදී ඔබ ඇතුළු මේ කණ්ඩායම කරන අතිශය වටිනා කර්ත්ව්‍යය වඩාත් සාර්ථක
කරගැනීමට හැකිවේවායි මුළු හදවතින්ම අපි ප්‍රාර්ථනා කරන්නේ බොහෝම සතුටින්. එහෙනම් සුපුරුදු ලෙස
ශ්‍රී ලංකාවේ ප්‍රථම වගේම ප්‍රමුඛතම Comic Based Geek Network එක වෙන Comic Script එකත් එක්ක දිගටම
රැදිලා ඉන්න කියන ආරාධනයෙන් අදට අපි සමුන්නවා, නැවත මෙවන් ලිපියකින් හමුවෙනතෙක් ඔබට ජය!!


Interview by MigHtY ThOr and Parker
©2020KalaManushya . All Right Reserved.
©Comic Script

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න