Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Triton සිනමා කෘතිය පිළිබද අධ්‍යක්ෂක අශාන් අමරංහ සමග කථාබහක්.

Triton සිනමා කෘතිය පිළිබද අධ්‍යක්ෂක අශාන් අමරංහ සමග කථාබහක්.



වර්ථමාන ලාංකේය සිනමාව හරි අපූරු සන්ධිස්ථානයක ඉන්නේ කියලා කිව්වොත් ඔබ පුදුම වෙන එකක් නැහැ,
මොක්ද වර්ථමානය තුල තරුණ නිර්මාණකරුවන් රාශියක් මේ සිංහල සිනමාව තුලට හරි අපූරු නිර්මාණ දායාද
කරන කාළයක තමා අපි මේ ඉන්නේ. ඉතින් ඔන්න ඔය අතරේ තමා අපිට ට්‍රයිටන් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාර්ක පටය
දකින්න ලැබෙන්නේ. පූර්ව ප්‍රචාර්ක පටය නරඹපු ඔබත් මමත් පුදුමයට පත් කරන්න නිර්මාණකරුවන් සමත් වෙලා
තිබුනේ ලාංකීය සිනමාව තුල මින් පෙර නොදුටු සිනමාත්මක බවක් වගේම සිනමා තාක්ශණයක් මේ චිත්‍රපටය තුල ගැබ්
වෙලා තිබුන නිසයි. ඉතින් අපි හිතුවා මේ අපූර්ව සිනමා කෘතිය ගැන කථා කරන්න එහි නිර්මාණකරුව මුණ ගැහෙන්න.
එහෙනම් අද අපිත් එක්ක එකතු වෙන්නේ ට්‍රයිටන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක අශාන් අමරසිංහයි.



Q - මොකක්ද මේ ට්‍රයිටන් කියන්නේ ?
A - ට්‍රයිටන් කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටියක් කියලා ලේසියෙන් හඳුන්වන්න පුළුවන්.

Q - හොදයි, චිත්‍රපටය ගැන කථා කරන්න කලින් අපි කථා කරමු ඇයි මේ වගේ නිර්මාණයක් කරන්න පෙලඹුනේ
කියලා ?
A - ඇත්තටම කිව්වොත් චිත්‍රපටි නැරඹීම බොහෝදෙනෙකුගේ ප්‍රියතම දෙයක් කියලා කියන්න පුළුවන්. පුද්ගලික
වශයෙන් ගත්තොත් චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන එක පොඩි කාලේ ඉඳන් තිබුණු සිහිනයක්. ඇත්තම
කිව්වොත් හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණ වලින් පිස්සු වැටිලා හිටපු කෙනෙක් මම. කවදා හරි දවසක
එවැනි නිර්මාණයක් කරනවා කියන දැඩි අධිෂ්ඨානයක් මගේ හිතේ තිබුණා.

Q - විද්‍යා ප්‍රභන්ධ සිනමාව කියන්නේ ලෝක සිනමාව තුලට අලුත් දෙයක් නොවුනට ලාංකික සිනමාවට අලුත් දෙයක්,
මීට කලින් විද්‍යා ප්‍රභන්ධ ගනයට වැටෙන නිර්මාණ කිහිපයක් අපි දැක්කට මේ නිර්මාණය ඒ සියල්ලටම වඩා වෙනස්
අත්දැකීමක් කියලා කියන්න පුලුවන්, ඇයි මේ වගේ මාතෘකාවක් තෝරගත්තේ ?
A - සිනමාව තුළ චිත්‍රපට ශානර කොච්චර නම් තියෙනවද. ඕනෑම චිත්‍රපටියක් ගත්තොත් මොකක්ම හරි ශානරයකට
ඇතුලත් වෙනවා. චිත්‍රපටි විතරක් නෙවෙයි, පොදුවේ සිනමාකරුවන් කීප දෙනෙක් ගත්තත් ඔවුන් එකිනෙකට
වෙනස් වෙන්නේ සමහරක්විට ඔවුන්ගේ ශානරය හේතුවෙන්. පුද්ගලික වශයෙන් කිව්වොත් අපි හැම කෙනෙක්ම
එක්තරා ශානරයකට වැඩියෙන් ඇලුම් කරනවා කිව්වොත් නිවැරදියි. ඉතින් විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම චිත්‍රපට
වලට වැඩියෙන් ඇලුම් කරන කෙනෙක් වශයෙන් ම එවැනි ශානරයකට අයත් චිත්‍රපටියක් නිර්මාණය කිරීමට
තීරණය කලා.





Q - පූර්ව ප්‍රචාරක පටය නරඹපු හැම කෙනෙක්ටම වගේ දැකපු දෙයක් තමා චිත්‍රපටයට නවීන සිනමා තාක්ශනය
( චිත්‍රපටයේ VFX, CGI සහ Cinematography Techniques) ඉතා ප්‍රශංසනීය අන්දමින් යෝදාගෙන තියෙන බව,
ඒ ගැන කතා කලොත් ? 

A - මම කලින් කිව්ව වගේම චිත්‍රපට ශානරය මත එම චිත්‍රපටය නිර්මාණය කිරීමට දායක වන තාක්ෂණයත් වෙනස්
වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ට්රයිටන් චිත පටය විශාල පිරිවැයක් යොදා නිර්මාණය
කෙරුණු චිත්‍රපටියක් නෙවෙයි. ඉතින් බොහෝ කාර්යභාරයන් අපිටම කරන්න සිදුවෙනවා. කැමරාකරණයෙන්
ආරම්භ කළොත් සංස්කරණය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග දක්වාම වගකීම මට භාර ගැනීමට සිදුවෙනවා. මුළු
චිත්‍රපටයම රූගත කිරීමට භාවිතා කරන්නේ එක් කැමරාවක් පමණයි. දෘෂ්‍ය ප්‍රයෝග පිළිබඳ ව සඳහන් කරනකොට
මගේ මිතුරකු වන චිරාත් කොඩිතුවක්කු විශේෂ අධීක්ෂණයකින් ඒ සඳහා දායක වනවා. ඒ වගේම මෙහි දකින්න
ලැබෙන ප්‍රායෝගික ප්‍රයෝග (practical effects) ගැන සඳහන් කරනකොට පාසල් කාලයේ සිටම මිතුරකු වන
කාලිංග මහේන්ද්‍ර මතක් නොකර බැහැ. මෙහි දකින්නට ලැබෙන විශේෂ ඇඳුම් නිර්මාණ කාර්යයේ සිට සහය
අධ්‍යක්ෂණය දක්වාම ඔහුගේ දායකත්වය මට ලැබෙනවා. බොහෝ වෙලාවට කාර්යභාරයන් කිහිපයක් එක් අයෙක්
විසින් නිම කරන කොට එහි තිබෙන සමහර වැරදි අඩුපාඩු ඒ කෙනාට පෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින්
මෙහිදී මගේ කණ්ඩායමෙන් ලැබුණු විශේෂ අධීක්ෂණය ඔවුන්ගේ විවිධ දෘෂ්ටිකෝණයන් සහ පහසුවෙන් සෑහීමකට
පත් නොවීම් වැනි ගුණාංග මෙහි විශ්වාසනීයත්වය වැඩි කර දීමට හේතුවක් වී ඇති බව මගේ අදහසයි.

Q - මේ චිත්‍රපටය තරුණ පරම්පරාවේ වැඩක්, නිර්මාණකරනයේ සිට රංගන රංගනය දක්වා මේක තරුණයන්ගේ වැඩක්
කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ දැවැන්ත නිර්මාණයක් කොහොමද මෙහෙම තරුණයෝ ටිකක් කලේ ?
A - ඇත්තටම කිව්වොත් කණ්ඩායම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ දකින්න තියෙන්නේ. මෙහි වැඩකටයුතු
ආරම්භ වෙන්නේ හරියටම අවුරුදු දෙකකට කලින්. නමුත් අපි මෙහි පෙර නිෂ්පාදන කටයුතුවල නියැළෙන්නේ
අවුරුදු පහක පමණ කාලයක සිටයි. අපට තිබුණු අභියෝග ගැන කියල නම් ඉවරයක් කරන්න බැරි වෙයි. සමහර
අභියෝග හමුවේ පරාජය වූ අවස්ථාද නැතුව නෙවෙයි. ඒ ගැන කියනවනම් දෙවතාවක් පමණ රූගත කිරීම් යම්තාක්
දුරට සිදුකර පසුව අතහැර දැමූ අවස්ථා තිබෙනවා. එමෙන්ම මේ සඳහා භාවිත කරන තාක්ෂණය, විවිධ දෘශ්‍ය
ප්‍රයෝග වැනිදෑ අත්හදා බැලීමට සෑහෙන කාලයක් වැය වෙනවා. සමහර අවස්ථාවල දී අපේක්ෂා කරන මට්ටමට
අපිට තාක්ෂනය යොදා ගැනීමට අප සතු සම්පත් ප්‍රමාණවත් නොවන අවස්ථා යෙදෙනවා, එවැනි අවස්ථාවලදී ඒ
සඳහා පහසු ක්‍රම, වෙනත් ක්‍රම අත්හදා බැලීමට සිදුවෙනවා. එමෙන්ම මෙහි ඇඳුම් නිර්මාණය ආරම්භ වෙන්නේ
චිත්‍රපටය රූගත කිරීමට අවුරුදු එකහමාරකට පමණ කලින්.

Q - හොදයි අපි චිත්‍රපටය පැත්තට හැරුනොත්, මොකක්ද මේ ට්‍රයිටන් සිනමා කෘතිය තුලින් ප්‍රේක්ෂකයට දෙන්න
බලාපොරොත්තු වෙන්නේ ?
A - සරලවම කිව්වොත් චිත්‍රපට අයත් වෙන්නේ විනෝදාශ්වාදය කියන කාණ්ඩය යටතට. ඉතින් මට අවශ්‍ය වුනෙත්
විනෝදයෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් නිර්මාණය කිරීම. චිත්‍රපටය තුළින් කතා කරනවා නම් විවිධ අභියෝග
හමුවේ මුහුණ දිය යුතු ආකාරය විවිධ අවස්ථාවලදී ගන්නා තීරණවල වැදගත්කම, කණ්ඩායම් හැඟීම එමෙන් ම
ජීවිතේ ඇතිවන බැඳීම් වල වැදගත්කම වැනි කාරණා හඳුන්වන්න පුළුවන්.

Q - වර්ථමාන ලාංකික සිනමාව තියෙන්නේ යම්කිසි අර්බුදකාරී තත්වයක, එහෙම තියෙනකොටත් ඇයි මේ වගේ
නිර්මාණයක් සිංහල සිනමාවට දායාද කරන්න පෙලබුනේ ?
A - ඇත්තටම සිනමාව කියන්නේ කලා මාධ්‍යයක්, රටක තිබෙන වර්තමාන තත්වය, අර්බුද, දේශපාලනය ඒ සඳහා
බලපෑම් ඇති නොකරනවා කියන්න බැහැ, නමුත් එය නිදහස් මාධ්‍යයක්. මෙය නිර්මාණය වෙන්නේ ඒ විදිහට.





Q - මේ නිර්මාණය දැවැන්ත නිර්මාණයක්, මොනවගේ අභ්යෝගද මේ නිර්මාණය පිටිපස්සේ තිබුනේ, ඒ වගේම මෙහි
රංගනය ගැන කථා කලොත් ?
A - රංගනය පිළිබඳ කියනවා නම් ඇත්තටම මෙහි ප්‍රවීනයන් කිසිවෙක් නැහැ. සියලුම දෙනා ආධුනිකයින්, ඔවුන්
මීට පෙර කිසිම දිනක කැමරාවක් ඉදිරිපිට රංගනයකින් දායක වී නැහැ, ඔවුන්ව ඒ සඳහා පුහුණු කිරීමද එක්තරා
ආකාරයකින් අභියෝගයක් වෙනවා, සත්‍ය වශයෙන්ම කිව්වොත් ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් දැකිය හැකි සියුම්
ප්‍රකාශන ඔවුන්ගෙන් ඒ හා සමානවම බලාපොරොත්තු විය නොහැකි වුවත් චිත්‍රපටියේ අවසානය දක්වාම මාත් සමඟ
සහයෝගයෙන් කටයුතු කිරීමම මම ඉතාමත්ම අගය කරනවා.

Q - ට්‍රයිටන් කණ්ඩායමේ මීලග ඉලක්කය මොකක්ද ?
A - ඇත්තටම කිව්වොත් අපි දැන් ඉන්නේ මෙම නිර්මාණයේ අවසාන අදියරේ. ට්‍රයිටන් සාර්ථක නිර්මාණයක් ලෙස
ඉදිරිපත් කිරීම තමයි අපි සියලුම දෙනාගේ තිබෙන බලාපොරොත්තුව. කලින් සඳහන් කළ ආකාරයටම ක්‍රියාදාම
විද්‍යා ප්‍රබන්ධ ශානරය ශ්‍රී ලාංකීය සිනමාවට තවමත් අලුත්, සමහරක් විට ඉදිරි නිර්මාණ කිරීමට පෙර මෙයට ලැබෙන
ප්‍රේක්ෂක ප්‍රතිචාරය ගැන සලකා බැලීමට සිදුවේවි.

Q - ප්‍රේක්ෂකයන්ට ඔබට මේ සිනමා කෘතිය ගැන දෙන්න තියෙන්නේ මොන වගේ පණිවිඩයක්ද ?
A - චිත්‍රපටයක පමණක් නොවෙයි ඕනෑම නිර්මාණයක අවසානයේ දී එහි වැදගත්ම කොටස වන්නේ ඒ පිළිබඳ
අදහස් දැන ගැනීමට හැකි වීමයි. ට්‍රයිටන් නැරඹීමට හැකිවන දිනයකදී මෙහි ඇති ගුණ දොස් අපත් සමග සාකච්ඡා
කිරීමට සෑම කෙනෙකුටම ආරාධනා කරනවා. පුද්ගලිකව මම අදහස් විමසීමට ඉතාමත් කැමතියි. ප්‍රේක්ෂකයින්ගේ
අදහස් අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරන නිර්මාණ වලට බලපෑමක් ඇති කරන බවට විශ්වාසයක් තිබෙනවා.

ඉතින් මේ වගේ අතිශය කාර්‍යබහුල වෙලාවක කාළය වැය කරලා අපිත් එක්ක තොරතුරු බෙදාගන්න එකතු වුන
අධ්‍යක්ෂක අශාන් අමරසිංහ මහතාට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනමනවා, ඒ වගේම ට්‍රයිටන් චිත්‍රපටය ශ්‍රී ලාංකේය
සිනමාව තුල  සන්ධිස්ථානයක් වෙවා කියලා කොමික් ස්ක්‍රිප්ට් කණ්ඩායම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. එහෙනම්
ඉතින් ට්‍රයිටන් චිත්‍රපටයේ වගේම තවත් සිනමා නිර්මාණයන් මෙන්ම ලෝක සිනමාව තුල සැරිසරන්න දිගටම එකතු
ශ්‍රී ලංකාවේ පළමු වගේම ප්‍රමුඛ Comic Based Geek Network එක වෙන Comic Script එක්ත් එක්ක රැදිලා
ඉන්න ආරාධනා කරමින් අදට ගිහිල්ල එන්නම්, එහෙනම් සියලු දෙනාට ජයවේවා!!

Interview by MigHtY ThOr and Parker

©2020 Triton Movie. All Right Reserved.
©Comic Script

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න