Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Cobra Kai Sinhala Review

Cobra Kai Sinhala Review

 



Cobra Kai : CS Review

මේක මං බලන්න ගත්තෙ මගේ යාළුවො ගොඩක් බැලුවටත් පස්සෙ. ගොඩක් අය කියලා තිබ්බා මේක හොඳයි කියලා. ඒත් මං හිතුවෙ මේක "තවත් එක්" ටීවී සීරීස් එකක් විතරක් කියලා. පස්සෙ කාලෙක හොඳ සීරීස් ටිකක් හොයං යද්දි අහම්බෙන් වගේ දැක්කා IMDb Top #250 shows අතරේ කෝබ්‍රා කායි තියෙනවා. ඉතින් ඒකට ගිහින් බැලුවම තමයි දැනගත්තෙ මේක අසූ ගනන්වල ආපු කරාටේ කිඩ් ෆිල්ම් ටිකට සම්බන්ධ එකක් කියලා. (කෝබ්‍රා කායි කියන්නෙ ඩෝජෝ එකේ නම කියලා අමතක වෙලා තිබ්බෙ ෆිල්ම් බලලා කාලයක් වෙච්ච හින්දා) කොහොමත් හිට් වෙච්ච ඔරිජිනල් ෆිල්ම් වල නම් වලින් සීක්වල්ස් ස්පින් ඕෆ්ස් රැල්ලට වගේ එන්න ගත්තත් ඒ ඔරිජිනල් ඒවයෙ තියෙන කොලිටියට ළඟින්වත් තියන්න බෑ ඒවයින් බහුතරයක්. අනිත් එක යූටියුබ් ඔරිජිනල් සීරීස් ඊට කලින් බලලා තිබ්බෙත් නෑ. හැබැයි මේකෙ රේටිංස් හොඳට තිබ්බ හින්දත් කරාටේ කිඩ් මගේ ආසම ෆිල්ම් තුනක් හින්දත් (ඊට පස්සෙ වෙන මොකුත් ආවෙ නෑ කියලා හිතාගමු) කෙලින්ම ඔරිජිනල් ඩැනියෙල් ලරූසො, ජොනී ලෝරන්ස් එහෙමත් ඉන්න නිසා මේකත් බලන්න ගත්තා. ඒ වෙද්දි සීසන් දෙකක් ඇවිල්ලා. කොහොමහරි පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් බලන්න ගත්තා විතරයි එකදිගට බලාගෙන බලාගෙන ගියා පිස්සෙක් වගේ. දවස් දෙකෙන් සීසන් දෙකම ඉවරයි. ඇරත් ඒ දවස්වල වැඩ කෝටියක් තිබ්බා.

කෝබ්‍රා කායි කියන්නෙ එච්චර සුපිරි සීරීස් එකක්. මේ වෙනකොට මං තුන් හතරපාරක් මුල් සීසන් දෙක බලලා තියේ ඒකෙනුත් එකපාරක් ඔරිජිනල් ෆිල්ම් තුන බලලත් බැලුවා.

මේ වෙනකොට තුන්වෙනි සීසන් එකත් ඇවිල්ලා තියෙන්නෙ ඒකත් ඒ කොලිටියට එහෙම්ම තියාගන්න සමත් වෙලා තියෙනවා. අද වෙනකොට ඔරිජිනල් ෆිල්ම්ස් වගේම ටීවී සීරීස් අඩු වෙලා සීක්වල්ස් ස්පිනෝෆ්ස් රීමේක්ස් එන එක හොලිවුඩ් වල නොයෙකුත් නිර්මාණකරුවන්ගේ උදහසට ලක් වෙලා තියෙනවා. එයාලා කියන දේවල්වලත් ඇත්තක් තියෙනවා මොකද ඒ බහුතරයක් ස්ටූඩියෝස් හුදෙක්ම කොලිටිය ගැන හිතන්නෙ නැතුව ප්‍රේක්ෂකයින් කැමති දේවල්වලින් සල්ලි ගැරීමේ පරමාර්ථයෙන් විතරක් කිසි ජීවගුණයක් නැති නිර්මාණ හදන හින්දා. ජුරාසික් වර්ල්ඩ්, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්, ස්ටාර්වෝස් සීක්වල් ට්‍රයිලොජි, ඇමේසිං ස්පයිඩමෑන්, හැම අවුරුදු තුන හතරකටම වරක් මැරෙන බෲස් වේන්ගෙ අම්මයි තාත්තයි වගේ උදාහරණ තියෙනවා ඕනතරම්. හැබැයි ඒ අතරින් හොඳ නිර්මාණත් බිහි වෙන්නෙත් නැතුවම නෙවෙයි. අන්න ඒ වගේ හොඳ නිර්මාණයක් තමයි කෝබ්‍රා කායි කියන්නෙ. ස්ටාර්වෝස් මැන්ඩලෝරියන් එකත් ඒ වගේ.

කොහොමහරි කෝබ්‍රා කායි කියන්නෙ ඒ ඔරිජිනල් ෆිල්ම් වල ජීවගුණය රැකගෙන කරපු සහ 80' දශකයට තියෙන නොස්ටැල්ජියා එක හරියටම පාවිච්චි කරපු  සීරීස් එකක්. ඔරිජිනල් ෆිල්ම් වල සිදුවීම්වලින් දශක තුනකට විතර පස්සෙ තමයි කෝබ්‍රා කායි සීරීස් එක සිද්ධවෙන්නෙ. ගොඩක් අසූව දශකයේ ආපු ඇක්ශන් ෆිල්ම් වල ටයිප් එක තමයි හොඳ එකෙක් ඉන්නවා නරක එකෙක් ඉන්නවා, නරක එකා හොඳ එකාට ගහනවා, හොඳ එකා සෑහෙන මහන්සි වෙලා නරක එකාට ගහලා දිනනවා. නමුත් අද වෙද්දි ඒක වෙනස්. හොඳ එකා හොඳමත් නෑ නරක එකා නරකමත් නෑ හැමෝටම වගේ සාධාරණ හේතුවක් තියෙනවා වගේ වෙනස් දෘෂ්ඨිකෝණ වලින් අපිට දැනෙන්න සලස්වලා තියෙනවා. මෙන්න මේ දෘෂ්ඨිකෝණය කියන දේ අපිට කෝබ්‍රා කායි සීරීස් එකෙන් නැචුරල් විදිහට පට්ටම තාත්වික විදිහට බලාගන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ඨිකෝණය කියන දේ තාත්විකව කරනවා කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. මේක වැඩ කරන්න නම් ස්ක්‍රිප්ට් එක, ස්ටෝරි එක සහ චරිත හදලා ගන්න එක හරියටම කරන්න ඕන. ඒ චරිත රිලේටබල් වෙන්න ඕනෙ. "අම්මටසිරි මූ නම් මං වගේ, මේ චරිතය පැත්තෙන් ගත්තොත් මෙයා කියන කරන දේ සාධාර්ණයි" වගේ මේ චරිත අපිට දැනෙන්න ඕනෙ. අන්න එතකොට තමයි දෘෂ්ඨිකෝණය කියන දේ අපිට දැනෙන්නෙ.

මේ සීරීස් එක පුරාවටම දකින්න ලැබෙන තව දෙයක් තමයි කෝබ්‍රා කායි කොච්චර කරාටේ කිඩ් ට්‍රයිලොජියට ගරු කරනවද කියන එක. මේ ගරු කරනවා කියන්නෙ කොයි තරම් වටිනාකමක් දෙනවද කියන එක. සල්ලි වලට කරන්නම් වාලේ කරන නිර්මාණ වල නැත්තෙත් මේක. කොහොමද මේ වටිනාකමක් දෙන්නෙ ? ඒ වටිනාකම දෙන්න නම් ඒ පාදක කරගන්න ඒ මූලාශ්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒකෙන් හරියටම කියවෙන දේ ගැන දැනුම් තේරුම් තියෙන්න ඕන සහ ඒ මුල් කෘති වලට ආදරයක් තියෙන්න ඕන. වාසනාවකට හැරල්ඩ් ඇන්ඩ් කුමාර් ෆිල්ම් කරපු Jon Hurwitz, Hayden Schlossberg ඇතුළු කෝබ්‍රා කායි කරන පිරිසට මේ දේවල් තියෙනවා. ඒ අය තමන්ගෙ උපරිමය කරලා තියෙනවා මේ සීරීස් එකත් මං කලින් කියපු "තවත් එක්" සීරීස් එකක් වෙන එකෙන් බේරගෙන ඇත්තටම හොඳ නිර්මාණයක් බවට පත් කරන්න. මේ හේතුව හින්දා තමයි මේ වගේ සීරීස් එකක් අපිට වැඩිපුර දැනෙන්නෙ. අපි මේ ගැන care කරන්නෙ. ඇත්තටම කරාටේ කිඩ් වලින් පස්සෙ වෙන කතාවක් විදිහට තේරෙන්නෙ. Mr. මියාගි නැතත්, ඒ නළුවත් අපි අතර නැතිවුණත් ඔහුත් ඔහුගේ ප්‍රඥාවත් මේ සීරීස් එකේ දිගටම ජීවත් වෙනවා. ඒක හරිම ලස්සන දෙයක්. ඒ දේ ලස්සන වෙන්නෙ මේ සීරීස් එක කරාටේ කිඩ් ෆිල්ම් වල මූලධර්ම සහ ජීවගුණය රැකගෙන කරගෙන යන්න සමත් වෙන නිසා.

කරාටේ කිඩ් ෆිල්ම් වල නොයෙකුත් ජීවිතය ගැන පාඩම් කියලා දුන්නා, ඒ පාඩම් මේ සීරීස් එකෙනුත් කියලා දෙනවා වගේම සමහර අළුත් පාඩම් එහෙමත් කියලා දෙනවා. ඒකෙන් එකක් තමයි Redemption කියන්නෙ. ෆිල්ම් වලදි මේ redemption නැත්තං ජීවිතේ හරි පාරට දාගන්න ලැබෙන දෙවෙනි අවස්ථාව කියන දේ ස්වභාවිකව පෙන්නන්න කාලය මදි. ඒ වගේ දෙයක් කරන්න හොඳම තෝතැන්නක් තමයි ටීවී සීරීස් එකක් කියන්නෙ. මේ සීරීස් එකේදි පළවෙනි ෆිල්ම් එකේ දුෂ්ඨකම් කරපු ජොනී ලෝරන්ස්ට සීරීස් එකේ හොඳම redemption arc එකක් දීලා තියෙනවා වගේම මේ සීරීස් එකෙන්ම හඳුන්වලා දෙන ගොඩක් චරිත වලටත් හොඳ redemption arcs දීලා තියෙනවා.

මේක කොම්ඩි ඩ්‍රාමා ගණයට අයිති වෙන සීරීස් එකක්. ඒ වගේම මේකෙ තියෙන කොමඩි සහ ඩ්‍රාමා බහුතරයක් ස්සීරීස් වලටත් වඩා තාත්විකයි කියලත් කියන්නම ඕන. හොඳ සීරීස් එකක් තියෙන කාලෙම අගය කරන්න ඕන. මොකද අද කාලෙ හොඳ සීරීස් වැඩි කල් තියෙන්නෙ නෑ. මේ සීරීස් එකත් සීසන් 4න් ඉවර වෙයි කියලයි ගොඩක් ආරංචිමාර්ග කියන්නෙ.

කෙටියට කරන්න කියලා පටන් ගත්තු එක ටිකක් දිගට ගියා. මේ සීරීස් එක ගැන පොදුවේ සෑහෙන දේවල් කතා කරා වගේම තව සෑහෙන දේවල් තියෙනවා ගැඹුරටම කතා කරන්න පුළුවන් ඒවා. ඒවත් ඉදිරියේදී කතා කරන බලාපොරොත්තුවෙන් මේඑ රිවිව් එක ඉවර කරනවා

CS Rating : 8.7/10





#Tony

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න