Arrow - 04x08 - Legends of Yesterday
Full of Spoilers. Read at your own risk
Full of Spoilers. Read at your own risk
අද අපිට කතා කරන්න තියෙන්නේ ඇරෝ-ෆ්ලෑෂ් ක්‍රොස් ඕවර් එකේ දෙවෙනි කොටස. මේ කතාවේ නම් කරලා තියෙන්නේ Legends of Yesterday කියලා. මතකනේ ඊයේ මේකේ පලවෙනි කොටස නම් කරලා තිබ්බේ Legends of Today කියලා නේ. ඒකෙ දී අපි දැක්කා වර්තමාන කතාව. මේ කොටසේ දී වැඩි අවධානයක් යොමු කෙරුවා අතීත යේ සිදුවුණු සිදුවීම් වලට. ඒ වගේම තමයි මේක Arrow කතා මාලාවේ කොටසක්. ඒ හින්දා ඔලිවර් ගේ ජිවිතයට සම්බන්ධ දේවල් වලට පොඩ්ඩක් වැඩිපුර අවධානයක් ලබා දුන්නා. ෆ්ලෑෂ් එකේ දී මුලින් වැටුණ ලෝගෝ එක වෙනස් කෙරුවා වගේම මේකේ දී ත් අපිට වෙනදා දකින ලෝගෝ එකට වඩා වෙනසක් දකින්න පුළුවන් වෙනවා.
01. Go back to the really really past
කතාව පටන් ගන්නේ ඈත ඈත අතීතයේ ෆ්ලෑෂ් කතාවේ හැටියට වසර 4000 කට පෙර ඊජිප්තුවේ දර්ශනයකින්.
මෙතන දී අපිට බලා ගන්න පුළුවන් Carter සහ Kendra ගේ අතීත ආත්ම භවය. ඒ කියන්නේ ඒ දෙන්නා Khufu සහ Chay-Ara විදිහට ඉපදිලා හිටපු කාලයට. මේ දෙන්නාව අපි කොමික් වල දී දැකලා තියන විදිහට ම වගේ නිරුපනය කරලා තියනවා.
ඒ වගේම අපිට වැන්ඩල් දකින්න පුළුවන් Hath-Set විදිහට. කලින් කිව්වා වගේ මෙතන දී කරලා තියෙන්නේ අමරණිය වැන්ඩල්. Hath-Set විදිහට ඉපදිලා තියන එක.
මෙතන යන කතාව නම් අපිට පැහැදිලියි නේ. කොල්ලායි, කෙල්ලයි ඉන්නවා. ඒ දෙන්නා ආදරය කරනවා. තව දුෂ්ටයෙක් ඉන්නවා. දුෂ්ටයා කෙල්ලට ආදරේ කරනවා. ඒ හින්දා අර දෙන්නා අතර සම්බන්දය කඩන්න උත්සාහ කරනවා.
02. Super heroes in a farm house
මේ උපහාසය නම් ගොඩක් දෙනෙකුට තේරෙන්න ඇති. ටීම් ෆ්ලෑෂ් සහ ටීම් ඇරෝ එකතුවෙන ස්ථානය ටිකක් ග්‍රාමීය ගෙදරක්. තියා මෙතන දී කියනවා A bunch of superheroes in a farmhouse? I feel like I've seen that in a movie before කියලා. තියා විතරක් නෙවේ, අපි හැමෝම මේක මිට කලින් ෆිල්ම් එකක දැකලා තියනවා. ඒ මොකේද කියලා කියන්න ඕනේ නෑනේ.
03. An armor which is old than four millennia
Carter, Kendra ට පෙන්වනවා hawkgirl armor එක. එයා කියන විදිහට මේක අවුරුදු 4000 ක් පරණයි. තාමත් මේක අලුත් තත්ත්වයෙන් තියනවා හැබයි. Kendra ට අතීත මතකයන් ආපහු එනකොට, Carter ගේ මතක් කිරීම් එක්ක Hawkman සහ Hawkgirl දෙන්නා ගේ කොමික් වල තියන කතාවට සමාන කතාවක් විස්තර කරනවා.
04. Finding the son you never had
මේ සේරම වෙද්දී ඔලිවර් තනියම වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි සමන්තා සහ එයාගේ පුතා දැක්කාම ඒ ඔලිවර් ගේ පුතා කියන හැඟීම ඔලිවර් ට අමතක කරන්න බැරි හින්දා එයා ඒක නිරාකරණය කරගන්න යනවා. මේ ගැන එයා ෆෙලිසිටි ට කියන්නෙවත් නෑ. මුලින් සමන්තා දරුවා ඔලිවර් ගේ නෙවේ කිව්වත් අහම්බෙන් හම්බෙන කෙස් ගහක් හින්දා ඔලිවර් ඇත්ත දැන ගන්නවා මේ ඉන්නේ එයාගේ පුතා කියලා. ගොඩක් අය හිතුවේ දරුවාගේ නම කියද්දී Connor කියලා කියවෙයි කියලා. මොකද කොමික් වල දී ඔලිවර් ගේ පුතාගේ නම ඒක. ඒත් මෙතන දී කොමික් වල අපිට හම්බෙන Sandra Hawke සහ Connor Hawke කියන නම් දෙක වෙනුවට Samantha Clayton සහ William Clayton නම් දෙක තමයි දකින්න පුළුවන් උනේ.
ඇත්ත දැන ගත්තට පස්සේ ඔලිවර් ගේ මනස නිරවුල් නෑ. එයා ෆෙලිසිටි එක්ක ගැටුම් ඇති කරගන්නවා වගේම අවශ්‍යම වෙලාවේ හරියට ක්‍රියාත්මක වෙන්නත් බැරි තැනට වැටෙනවා.
05. Ghost
මර්ලින්, වැන්ඩල් එක්ක ගනුදෙනුවක් ලෑස්ති කරලා ඒකට ඔලිවර් සහ බැරී ට කතා කරනවා. බැරී මේකට යද්දී එයා දකිනවා තවත් ෆ්ලෑෂ් කෙනෙක් එයා පහු කරගෙන යනවා. අපි දැන් දන්නවා නේ මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා. බැරී ආපහු සැරයක් කාලය හරහා ගමන් කරන්න යන්නේ.
ගනුදෙනුව හිතපු තරම් සුභ දායක වෙන්නේ නෑ. මොකද වැන්ඩල් ඉල්ලනවා පැය 24 ක් ඇතුලත Carter සහ Kendra භාර දෙන්න. මෙතන දී අපි හැමෝම ආදරය කරන රොබින් හුඩ් ගැනත් කිව්වා. බලාගෙන යද්දී වැන්ඩල් තමයි රොබින් ටත් උගන්වලා තියෙන්නේ.
06. Barry with a hope
වැන්ඩල් අහනවා ආඩම්බර කම හින්දා ද වලක්වන්න බැරි දෙයක් වලක්වන්න හදන්නේ කියලා. බැරි කියනවා එහෙම කරන්නේ බලාපොරොත්තුව තියන හින්දා කියලා. කොමික් වලත් බැරී කියන්නේ කට්ටියට බලාපොරොත්තුව ඇති කරවන කෙනෙක්. ඒ හින්දයි Blackest Night වල දී ලැන්ටර්න් කොර්ප්ස් වලට අලුතෙන් කට්ටිය එකතු කර්ගද්දී බැරී ට බලාපොරොත්තුව නියෝජනය කරන බ්ලු ලැන්ටර්න් කෙනෙක් කෙරුවේ. එයාට බ්ලු ලැන්ටර්න් කෙනෙක් වෙන්න පුළුවන් උනේ එයා බලාපොරොත්තුව ඇතිකරවන හින්දා.
07. Huang He Flood, 1887
වැන්ඩල් විසින් කරපු විනාශයක් විදිහට ස්වභාවික විනාශ හදුන්වා දෙනවා වගේ. ඇත්තමට මේ කියපු විදිහටම 1887 දී චීනයේ ශෝකය එහෙමත් නැතිනම් කහ ගංගාව විදිහට හදුන්වන Huang He පිටාර ගලලා මිනිස්සු ලක්ෂ 9 ක් විතර (කතාවේ නම් කිව්වේ ලක්ෂ 20 ක් කියලා) මැරිලා තියනවා. වැන්ඩල් මේක කෙරුවා කියන්නේ එයාට තියන බලය අසීමිතයි.
08. St Roch
අපිට අවස්තා කිහිපයක දීම St Roch කියන නගරය හම්බෙනවා. කොමික් වලට අනුව මේ නගරයේ තමයි Hawkman සහ Hawkgirl පදිංචි වෙලා ඉන්නේ. මේ නගරය පිහිටලා තියෙන්නේ ලුසියානා ප්‍රාන්තයේ. මේ නගරයත් එක්කම 1975 අවුරුද්ද ගොඩක් සමීපයි වගේ මේ කතාවට. මොකද අපි දැක්කා 1975 වසරේ සිදුවුණ පටිගත කිරීමක්. ලෙජන්ඩ් ඔෆ් ටුමොරෝ ට්‍රේලර් එක බැලුවා නම් මතක ඇති අපේ අලුත් විරවරු කණ්ඩායම අතීතයට ගිහින් මේ නගරයට එනවා.
09. Ultimate Failure
හැම දෙයක් ම හරි කියලා හිතලා වැඩ කරන්න හැදුවට සේරම අවුල් යනවා. සිස්කෝ හදපු අත් වැසුම වැඩ කරන්නේ නෑ. Kendra ට Hawkgirl වෙන්න බැරි වෙනවා. වැන්ඩල්, Hawkman සහ Hawkgirl දෙන්නාව මරණවා. අවසානේ දී මුළු සෙන්ට්‍රල් සිටි එකම විනාශ වෙනවා.
10. Run Barry, Run
ලෝකය විනාශ වෙද්දී ඒක වලක්වන්න බැරී කාලය හරහා ආපස්සට දුවනවා.
මේ අවස්තාව දකිද්දී මතක් වෙන්නේ Flashpoint කතාව. ෆ්ලෑෂ් පොයින්ට් කතාවේ දී තෝමස් වේන් බැරී ට දුවන්න කිව්වා වගේ මෙතන දී බැරී ට දුවන්න කියන්නේ ඔලිවර්.
හැබයි Flashpoint කොමික් කතාවටත් වඩා මෙතන දී ගොඩක් මතක් උනේ 2013 ආපු Justice League - The Flashpoint Paradox ඇනිමේෂන් ෆිල්ම් එක. එතන දී කැප්ටන් ඇටෝම් පුපුරවලා විනාශ කරද්දී ලෝකය විනාශ වෙන්නේ මේ විදිහටමයි.
කොහොම හරි අවසාන ප්‍රතිපලය උනේ බැරී ට පුළුවන් උණා ආපහු ටයිම් ලයින් එක වෙනස් කරන්න.
11. Second Chance
පළමු උත්සාහය වැරදුනත් බැරී කාලය හරහා ගමන් කරපු හින්දා දෙවෙනි අවස්ථාවක් තියනවා. කලින් අවස්ථාවේ වැරදුනු සේරම දේවල් නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. ඒ අතරින් වැදගත්ම දේ වෙන්නේ ඔලිවර්, කලින් වතාවේ වගේ හැම දේම අවුල් කරගන්නේ නෑ. එයාට පුළුවන් වෙනවා ෆෙලිසිටි එක්ක සම්බන්දය ආරක්ෂා කරගන්න ගමන්ම එයාගේ දරුවා ව ටික වේලාවකට හරි ඇසුරු කරන්න.
ඒ වගේම සිස්කෝ හදන ඇන්ටි-ගැන්ඩල්ෆ් (යෂ්ටියක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් කියද්දී එක පාරටම ඔළුවට එන කෙනා ගැන්ඩල්ෆ් නේ) අත් වැසුමේ තියන දෝෂය නිවැරදි කරගන්නවා. ඒ වගේම Kendra ගේ හිත ශක්තිමක් කරන්න සිස්කෝ ට භාර දෙනවා.
12. What was really happened in Egypt
ඇත්තටම අතීතයේ දී ඊජිප්තුවේ සිද්ධ උනේ මොකක්ද? කලින් කිව්වා වගේ වැන්ඩල් සැවේජ් ගේ සහ Hawk ලාගේ කතා එකට මිශ්‍ර කරලා තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි කොමික් වල තියන විදිහට මේවා වෙන වෙනම සලකා බලමු.
වැන්ඩල් ට බලය හම්බෙන්නේ කොමික් වල දී උල්කාෂ්මයක වැටෙන කොට ඒවාට නිරාවරනය වෙලා. ඒකෙන් එයා අමරණිය වෙනවා. ඒක තමයි පලවෙනි කතාව.
ඊලඟ කතාව තමයි Khufu සහ Chey-Ara ගේ මුලින්ම ආපු කතාව. එතන දී කියන්නේ ඒ දෙන්නා ඊජිප්තු අහසට සහ රාජ්යතත්වයට අධිපති හෝරස් ආරුඪ වීමේ හැකියාව තියන දෙන්නෙක්. (රික් රියෝඩන් ගේ කේන් ක්‍රොනිකල් කියවලා තියනවා නම් මේ කාරණය හොදටම තේරෙනවා). ඒ දෙන්නා Hath-Set කියන පූජක වරයා අතින් මැරෙනවා. හැබැයි හෝරස් ඒ වෙලාවේ මෙයාලාට ආරුඪ වෙලා හිටියා හින්දා ද මන්දා මේ දෙන්නා ආත්මයක් ආත්මයක් පාසා ඉපදිලා ආදර වන්තයෝ වෙනවා. හැබයි ඒ හැම ආත්මයම Hath-Set ගේ අතින් මැරෙනවා.
ඊට පස්සේ තමයි Hawk ලා කතාවේ වැඩි දියුණු කරපු කතාවක් මේකට එකතු වෙන්නේ. ඒ තමයි අතීත ඊජිප්තුවට කඩාගෙන වැටෙනවා Thanagar කියන ග්‍රහලෝකේ ට අයිති යානයක්. මේ යානය හදලා තියෙන්නේ විශේෂ ලෝහයකින්. Khufu සහ Chey-Ara ට මේ යානය හම්බෙනවා. ඒ දෙන්නා මේ යානය පරික්ෂා කරන්න ගිහින් මේ ලෝහයට නිරාවරනය වෙනවා. කලින් කියපු Hath-Set යානය හදලා තියන ලෝහයෙන්ම හදපු පිහියකින් මේ දෙන්නාව මරනවා. ඒකෙන් වෙන්නේ මේ තුන්දෙනා අතර සදාකාලිකව පවතින සම්බන්ධයක් ඇතිවෙන එක. ලෝහයට නිරාවරණය වුනු හින්දා උපදින ආත්මයක් පාසා Khufu සහ Chey-Ara ආදර වන්තයෝ වෙනවා. Hath-Set මේ දෙන්නව හොයාගෙන ඇවිත් මරනවා.
දැන් ඔය කතා සේරම එකතු කරපු එකක් තමයි අපිට දකින්න හම්බුනේ. අපිට මෙතන දී පිටසක්වල යානයක් දකින්න හම්බුනේ නෑ. ඒ වෙනුවට වැන්ඩල් ට බලය හම්බුනු කොස්මික් උල්කා තමයි දකින්න පුළුවන් උනේ. ඒ වගේම Hawk ලා මැරෙනවා වැන්ඩල් අතින්. ඒ මැරෙන්නේ උල්කාවල තිබුණු ලෝහයෙන්ම හදපු පිහියකින්. හැබැයි මේ දෙන්නා මැරෙන කොට හෝරස් ගේ පිහිට ඉල්ලනවා. වැන්ඩල් ගේ අරමුණ ඉෂ්ට උනේ නැති හින්දා එයා උපදින ආත්මයක් පාසා මේ දෙන්නා පස්සෙන් පන්නන්න තීරණය කරනවා.
13. Nth Metal
සිස්කෝ ගේ කටින් නිකමට වගේ කියවෙනවා Nth Metal කියන වචනය. අපි අර කලින් කතා කරපු විශේෂ ලෝහයේ නම තමයි Nth කියන්නේ. මේ ලෝහයට ප්‍රති ගුරුත්ව හැකියාව තියනවා. ඒ වගේම ශක්තිය දරා ගන්න එහෙමත් පුළුවන්. කොමික් වල විදිහටම Khufu සහ Chey-Ara මරණ ආයුධය හදලා තියෙන්නේ මේ ලෝහයෙන්.
මීට අමතරව අපිට අහන්න හම්බුනා Indiana Jones ගැන සඳහනක්. Hawk ලා ගේ කොමික් වලට Indiana Jones ගේ බලපෑම තියනවා. ඒ වගේම බැරී උල්කාපාත කොටස ගෙනාව Keystone city වලින්. මේ නගරයේ තමයි ජේ ගැරික් ජිවත් උනේ. ඒ වගේම වොලී වෙස්ට් හැදුනේ වැඩුනේ මේ නගරයේ.
14. Ultimate Victory
කලින් වතාවේ වගේ නෙවේ. දෙවෙනි සැරේ හැම දෙයක්ම හරි විදිඅහ්ට සිද්ධ වෙනවා. හෝරස් ගේ යෂ්ටිය ගොඩක් බලවත් හින්දා ඒකට පුළුවන් වෙනවා වැන්ඩල් විනාශ කරලා දාන්න. හැබයි ඉතින් වැන්ඩල් කියන්නේ අමරණීය කෙනෙක් හින්දා මේ අවසානය නෙවේ. ගොඩක් දුරට Hath-Set ගේ භූමිකාව මෙතනින් ඉවර වේවි.
15. Geeks don't get the girl
සේරම සතුටු දායක විදිහට ඉවර උණත් සිස්කෝ ට නම් ඒක එච්චර හොඳ උනේ නෑ. එයා ආදරය කරපු කෙනා නැති උණා එයාට.
Justice League Unlimited ඇනිමේෂන් එක බලලා තියන අයට මතක ඇති මේ වගේම දෙයක් උණා ජෝන් ස්ටුවර්ට් ට. එයා Hawkgirl ට ආදරය කරලා සිස්කෝ ට උනා වගේම දේකට මුහුණ දෙන්න උණා.
16. Legends of Tomorrow
අවසානයට අපි දකිනවා මර්ලින්, වැන්ඩල් ගේ භෂ්මාවේශ එකතු කරනවා. මේකේ අරමුණ ගැන නම් දැන්ම කියන්න දන්නේ නෑ. හැබයි ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ කතාවේදී අපිට මේ ගැන දැනගන්න පුළුවන් වෙයි.
මෙතනින් මේ අවුරුද්දට ඇරෝ සහ ෆ්ලෑෂ් දෙන්නාගේ ක්‍රොස්ඕවර් එක ඉවර වෙනවා. හැබයි දෙන්නා ගේ ප්‍රශ්න ඉවර නෑ එතනින්. ෆ්ලෑෂ් සූම් එක්ක ප්‍රශ්න විසදගන්න හදනකොට ඔලිවර් ට සිද්ද වෙනවා ඩේමියන් එක්ක ඒවා විසදාගන්න. ලබනසතියේ එන්නේ මිඩ් සීසන් ෆිනාලේ එක. ඒ කියන්නේ ලොකු දෙයක් සිද්ධ වෙන කොටසක්. ට්‍රේලර් එක බලපුවාම ඒක හොදටම තේරෙනවා.
attila_THE_hun
attila_THE_hun
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න